වැසිකිළියේ උඩ කවුළුවෙන් හීලෑ අලියකු හොඬ ඇතුළු කිරීම නිසා එහි සිටි තරුණයකු මහත් බියට පත්ව ඇති වූ කලබලයක් පසුගියදා සබරගමු පළාතේ පිටිසර ගම්මානයකින් වාර්තා වේ.
ඔහු පොළ එළවළු වෙළෙඳාමේ යෙදුණ අවිවාහක තරුණයෙක් විය. දවසේ වැඩ කටයුතු නිමාකර ඔහු සෑම දිනකම වාගේ යළි නිවෙසට පැමිණෙන්නේ බොහෝ විට රාත‍්‍රී කාලයේය.
එදත් සුපුරුදු ලෙස නිවෙසට පැමිණි ඔහුට රාත‍්‍රී ආහාරයෙන් පසු වැසිකිළියට යාමට අවශ්‍යතාවක් ඇතිවිය.
විදුලි පන්දමක් රැගෙන නිවෙස අසල ඇති වැසිකිළියට ඇතුළු විය. ටික වේලාවක් ගිය පසු ඔහු දුටුවේ අලියකුගේ හොඬක් හෙමින් සීරුවේ එහි කවුළුවෙන් ඇතුළට පහත් වෙන බවයි.
බලාපොරොත්තු නොවූ මේ සිදුවීමෙන් බියටත් කම්පනයටත් පත් තරුණයා මහා හඬින් කෑගසන්නටත්, හඬන්නටත් පටන් ගත්තේය.
ඔහුගේ හඬට කලබලයට පත් ඔහුගේ නිවැසියෝ වහා දුව ආහ.
සැහෙන වේලාවකට පසු තරුණයාගේ බිය පහව ගිය පසු නිවැසියන් ඔහුට පැවැසුවේ එම දිනවල එම ප‍්‍රදේශවල ගස් ඇදීමට ගෙනවිත් සිටි අලියකු රාත‍්‍රී කාලයේ ඔවුන්ගේ වත්තේ බැඳ සිටි බවයි. අලියා විදුලි පන්දමේ ආලෝකය දැක ඒ තුළට හොඬ දමා තිබිණ.
කෙසේ හෝ මේ සිද්ධිය ඔහුගේ මිතුරකු දැනගෙන පොළේ මිතුරන්ට පැවැසීම නිසා ඔහුගේ මිතුරන් දැන් නිතරම අහන්නේ ”ඊට පස්සේ අලි හොඬක් දුටුවේ නැතිද” යනුවෙනි. එවිට ඔහු මිතුරන්ට හොඳහැටි දොස් පවරමින් මගහැර යයි.

