ඔවුන් පිට පළාත්වලින් පැමිණ කොළඹ නගරයේ සේවය කරන තරුණ පෙම්වතුන් යුවළකි. රැකියාව කළේ ආයතන දෙකකය. පසුගිය වැලන්ටයින් දවසේ නිවාඩු ලබාගත් දෙදෙනා දෙහිවල මුහුදු වෙරළට ගොස් නිදහසේ කතා කරන්නට වූහ. ස්වල්ප වේලාවකින් එතැනට කිහිලිකරු ආධාරයෙන් පැමිණි පුද්ගලයෙකි. ඔහු පෙම්වතුන් අමතා, ”කීයක් හරි දෙන්න’’යැයි පැවසීය. තරුණයා තම සාක්කුවෙන් රුපියල් දහයක් ගෙන ඔහුට ලබාදුන් අතර ‘‘රුපියල් දහයෙන් මොනවා කරන්නදැයි’’ ඔහු විමසීය. එවිට තරුණයා තම සාක්කුවෙන් නැවතත් රුපියල් පනහක් රැගෙන එයද පෙරකී පුද්ගලයා අත තැබීය. ‘‘මදි මදි තව සීයක් වත් දුන්නේ නැත්නම් මම මෙතනින් හෙලවෙන්නේ නැහැ” යැයි තර්ජනාත්මක ස්වරූපයෙන් පැවසීය. තරුණිය තරුණයාගේ මුහුණ බැලූවාය. තම මුදල් පසුම්බියෙන් රුපියල් සීයක් ගත් තරුණ පෙම්වතා එය පුද්ගලයාට දිගු කළේය. රුපියල් සියය අතට ගත් පුද්ගලයා ‘‘මම තමයි බජාර් එකේ කළුඅයියා කියන්නේ’’ යැයි පවසා එතැනින් පිට විය.

