වැඩට ආ බාස්ලගෙන් වැඩියෙන් වැඩගන්න නිවුණ තේ දුන්නාට පාඩමක්


තේ පානය කිරීමට ගතවන කාලය අඩුකර ගැනීම සඳහා සිය නිවසේ වැඩට ආ පෙදරේරුවන්ට හා ගෝලයන්ට තේ නිවා පානය කිරීමට දුන් ගෙහිමි කාන්තාවක් පිළිබඳව දකුණේ ගමකින් වාර්තාවේ. සිය නිවෙස වටේ ආරක්ෂක තාප්පය බැඳීමට පෙදරේරුවන් දෙදෙනකුට හා ගෝලයන් දෙදෙනකුට බාරදෙනු ලැබිණි. උදේ දහයට හා සවස තුනට තේ සැපයූවේ මේ නිවසෙනි. වැඩට එන පෙදරේරුවන් දෙදෙනාට හා ගෝලයන් දෙදෙනාට සැමදාම ලැබෙන්නේ ඇල්වතුර ගානට නිවුන තේ කෝප්පයකි. දවසක් දෙකක් මේ අය ගෙහිමි කාන්තාවට මුවින් නොබැන තේ පානය කළේ ඊට වෙනත් විකල්පයක් නොතිබූ බැවිනි. මෙය ඉවසා බැරිම පෙදරේරුවන් හා ගෝලයන් ”අනේ නෝනා අපිට හැමදාම මේ නිවුණු තේ බොන්න බැහැ. අපි කඬේට ගිහිල්ලා තේ බොන්නම්” කී විට නෝනට නොදැනුවත්වම නෝනාගේ කටින් මෙයට හේතුව කියවුණා නොව පැන්නාය. ”මම ඔයගොල්ලන්ට තේ දෙන්නේ තේ නිවලා. එතකොට තේ බොන වෙලාව අඩුකරගෙන ඒ කාලයෙන් තව වැඩ ටිකක් කරගන්න පුළුවන්” යයි ඇය කීවට ඔවුනට මේ පිළිබඳව රහස හෙළි විය. ඊට පසු හැමදාම උණු තේ ලැබුණ නමුත් තමන් ගොනාට අන්දන්න සැරසුණු නෝනාට හොඳ පාඩමක් උගන්වන්න  ඕනැ යයි සිතා ඔවුහු දවසේ පැයක් පැය භාගයක් වැඩ අත ගාමින් සිටියහ.