නිකවැරටිය ප‍්‍රදේශයේ ගම්මානයක පැවති භාණ්ඩ සල්පිල් වෙන්දේසියකදී උපදේශාත්මක වැකියක් රුපියල් 250/=ක මුදලකට වෙන්දේසිවීම පිළිබඳ වූ රසවත් පුවතකි.
එම ගම්මානයේ අවමංගල්‍යාධාර සමිතියේ අරමුදල තරකර ගැනීම සඳහා දෙබස් කථන මුද්‍රා නාට්‍යයක්ද සමග මෙම භාණ්ඩ සල්පිල් වෙන්දේසිය පැවැත්වුණේ ගමේ ප‍්‍රජාශාලා භූමියේය. අදාළ දිනයේ වෙන්දේසිය ආරම්භ කෙරිණි. ඒ වනවිටත් අති විශාල ජනකායක් එම ස්ථානයට පැමිණ සිටියහ. සල්පිල් වෙන්දේසිය මෙහෙයවනු ලැබුවේ ප‍්‍රදේශයේ දක්ෂ හිටිවන කවියෙකි.
රසබර කවිද සමග වෙන්දේසිය කරනු ලබමින් සිටින අතරතුර සංවිධායක මණ්ඩලය වෙන්දේසිය සඳහා ඔහු වෙත ලබා දුන්නේ ලියුම් කවරයකි.
”මෙය ගත් කෙනකුට ලක්ෂපතියෙක් විය හැක” යනුවෙන් කවරයේ පිටපැත්තේ ලියා තිබුණේ ලස්සන අත් අකුරෙනි. එහි ලියා තිබූ දෙයද කියවා ලියුම්කවරය වෙන්දේසි කිරීම අරඹන ලද අතර එහි සිටි සෑම දෙනාම සිතුවේ කවරය තුළ ලොතරැුයි පත් කිහිපයක් ඇතැයි කියාය.
ලියුම් කවරය රුපියල් 250ක මුදලකට වෙන්දේසි විය. එම මුදලට එය ඉල්ලූම් කර අදාළ මුදල ගෙවා ලබාගත්තේ මධුවිත තොල ගා හොඳ පමණට සූර්වී එහි පැමිණ සිටි එම ගමේම පුද්ගලයෙකි.
ගතවූයේ සුළු මොහොතකි. එම පුද්ගලයා සංවිධායක මණ්ඩලය වෙත පැමිණ කියා සිටියේ ලියුම් කවරය තුළ ඇත්තේ කුඩා කොළ කැබැල්ලක් පමණක් බවත් තමා ගෙවූ මුදල ආපසු ලබාදෙන ලෙසත්ය.
කවරය පරීක්ෂා කිරීමේදී සංවිධායක මණ්ඩලයටද දැකගත හැකි වූයේ එහි කුඩා කඩදාසි කැබැල්ලක් පමණි. ”අද කළ යුතු වැඩය හෙටට කල් නොදමනු” යනුවෙන් එහි ලියා තිබිණි.
වහාම කි‍්‍රයාත්මකවූ සංවිධායක මණ්ඩලය එම පුද්ගලයාගේ මුදල ගෙවා ඔහු පිටත්කර යැව්වේ මහත් කලබගෑනියක් ඇති කිරීමට පෙරය.

