රිය අනතුරින් පසු එරොප්පේ වචන කතා කරන්න ගිහින් ජංජාලයක්


(නයිනමඩම - චන්දන ප්‍රනාන්දු)

යුරෝපීය රටක වචන උච්චාරණයක් ලංකාවේදී භාවිතා කරන්න ගොස් සිදුවූ අපූරු ජංජාලයක් පිළිබඳව සිදුවීමක් වෙන්නප්පුව ප්‍රදේශයෙන් පසුගියදා වාර්තා විය.

කොළඹ හලාවත මාර්ගයේ ගමන් කරමින් තිබූ වාහන දෙකක් වෙන්නප්පුව නගරය ආසන්නයේදී අනතුරකට ලක්වීමෙන් වරද සිදුවූ යැයි හැඟෙන වාහනයේ සිටි තරුණ යුවළක් තමන්ගේ වරද පිළිබඳව අවබෝධයක් නැතිව ඉදිරියෙන් ගිය වාහනයේ රියැදුරාට හා පිරිසට දොස් කියමින් සිට ඇත.

මේ අවස්ථාවේ ඉදිරියෙන් ගිය රියැදුරා හා වාහනයේ සිටි අයෙක් අනතුරේ ස්වභාවය හා අනතුරේ වැරදිකරු ගැන අනතුරට ලක්කළ වාහනයේ සිටි යුවළට කොතරම් පැහැදිලි කරන්න උත්සාහ කළත් එය සාර්ථක වී නැත.

එහිදී එකවරම එහි සිටි තරුණ කාන්තාවක් පපිගේ වැරද්දක් නෑනේ පපි හොඳට වාහනය එළෙවුවනේ පපිට පුළුවන් කියලා දන්නවනේ. අනෙක පපිට ඔනේම රටක වාහන එළවන්න ලයිසන් තියෙනවනේ. ඒ නිසා පපි නම් වරද පිළිගන්න එපා යනුවෙන් පවසමින් සිටින ආකාරය කණ වැකුණු අනතුරට ලක්වී සිටි වාහනයේ දෙදෙනා එතකොට ඔයාලගේ තාත්තා වාහනේ එළවමින් ආවේ කෝ දැන් තාත්තා. ඔයාලා අනතුර වුණ ගමන්ම තාත්තා කොහෙද යැවුවේ යනුවෙන් ප්‍රශ්න ගොඩාක් අසා ඇත්තේ මෙම අනතුර ගොඩින් බේරා ගන්න බැරිවීම නිසා හා අනතුරෙන් තමන්ගේ වාහනයට වූ හානිය ගැන එම තරුණ යුවළ එතරම් සැලකිල්ලකින් කතා නොකිරීම හේතුවෙනි.

එහිදී තරුණ කාන්තාව මම පපි කීවේ අපේ තාත්තට නොවෙයි තාත්තා වාහනයේ හිටියේ නෑ. මම මගේ මහත්තයටයි පපි කීවේ. යනුවෙන් පවසද්දී තමයිලු කරුණු අවබෝධ වුණේ. මොකද මේ යුවල යුරෝපීය රටක සේවයට ගිහිල්ල නිවාඩුවට ලංකාවට ආ වෙලාවේ තමා මේ අනතුරට මුහුණ දීලා තියෙන්නේ. ඉතින් යුරෝපයේ කතා කරන භාෂාවම ලංකාවේදී භාවිතා කරපු නිසාලු ස්වාමි පුරුෂයාට පපි කියලා තියෙන්නේ.