කුරුණෑගල සිට ඉතාලියට පැමිණි වසර 22ක් පුරා මිලානෝ නුවර ජීවත්වන අයෙකි. පිනට දහමට ලැදි ඔහු නොකඩවා වසර 13ක් මුළුල්ලේ ඉතාලි ලේ බැංකුවට තම රුධිරය පරිත්‍යාග කරයි.
ඉතාම සරල ජීවිතයක් ගතකරන ඔහු තම බිරියත් නැඟණියත් හිතවතුන් කිහිපදෙනකුත් සමග රජයේ හා පෞද්ගලික ආයතන පිරිසුදු කිරීමේ ආයතනයක් පවත්වාගෙන යයි. මෙයට සති දෙකකට පෙර උමං දුම්රිය ස්ථානයක රැඳී සිටින ඔහුට අපේ රටේ තරුණයෙක් මුණ ගැසෙයි.
කටකාර තරුණයා ඔහු අසලට එයි. විස්තර අසයි. නැහැ. මම අලූතෙන් ඉතාලියට ආවේ. කුරුණෑගලින් ගිය පුද්ගලයා කීවේය. ජොබ් එකක් කරනවද? තරුණයාගෙන් තවත් පැනයකි. නැහැ තාම නැහැ. මම නම් ජොබ් එකක් කරනවා. මාසෙකට යුරෝ 1800ක් විතර ගන්නවා. ලංකාවේ මොනවද කෙළේ. එහෙදිත් මොනවත් කෙළේ නැහැ. ඊටද ලැබුණේ කෙටි පිළිතුරකි. හැබැයි නිකම් හිටියත් අම්මා තාත්තා හොඳට කන්න දීලා තියෙනවා. ඒකනේ ඔය උස මහතට ඉන්නේ. එසේ කියූ තරුණයා ස්වල්ප වේලාවකින් නික්ම යනුයේ රැකියාවක් ලැබුණොත් කියන්නම් කියාය.
මෙයට දින කිහිපයකට පෙර කුරුණෑගලින් ගිය තැනැත්තාගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගත් ඔහුගේ හොඳම මිතුරකු ඉල්ලීමක් කළේ තමා සමග එකම කාමරයේ ඉන්න හිතවතාට රැකියාවක් නොමැති බැවින් ඔහුගේ ආයතනයේ පුරප්පාඩුවක් ඇත්නම් උදවුවක් කරන ලෙසය.
පසුදින තමා හමුවට එම තරුණයා රැගෙන එන්නැයි අලූත් මිතුරාට කියයි. පුදුමයකි යුරෝ 1800ක වැටුපක් ලබන බව කියා පුරසාරම් දෙඩූ අර මිනිහා ඉදිරියේ සිටගෙන සිටී. කිසිවක් නොකී අබේරත්න තම ආයතනයේ රැකියාවක් තරුණයාට පිරිනමයි. තම සේවකයා කලින් කී බොරුව ගැන කිසිවක් අබේරත්න ඔහුගෙන් විමසුවේ නැතත් ලැජ්ජාවෙන් ඇඹරෙමින් අදාළ තරුණයා අබේරත්නගෙන් සමාව ගත්තේය.

