යතුරු පැදියෙන් ‘ගතමන්ට්’ එකක් ගන්න ගිය රාළහාමි කබලෙන් ළිපට වැටිලා


මාර්ග පරීක්‍ෂාවේ යෙදී සිටි පොලිස් නිලධාරියකු තමා ඉදිරියට එන යතුරු පැදියක් අතින් සංඥා කොට නවතා ගත්තේය. යතුරු පැදියේ පැමිණි පුද්ගලයා ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි. කෙතරම් මිල මුදල් තිබුණ ද ඔහු තම යතුරුපැදියට ආදායම් බලපත‍්‍රය හෝ තමාට රියැදුරු බලපත‍්‍රය ලබාගෙන නොතිබුණි. එහෙත් තම කාරියට බාධා පැමිණෙන සෑම විටම නුවණ මෙහෙයවා ඉන් ගැලවීමට ඔහු සමත්ය.
තම නුවණ මෙහෙයවා මෙතැනින් බේරී යා හැකි බව සිතූ ඔහු පොලිස් නිලධාරියාට මෙසේ කීය.
”ආනේ රාළහාමි! මං මේ කොල්ලෙකුගෙන් බයික් එකක් ඉල්ලගෙන ටවුමට දුවල යන්න ආවේ” යි පැවැසුවේය.
 ”ඒ කතාවලින් මට වැඩක් නෑ. තමුන්ටත් බයික් එකටවත් ලයිසන් සහ ඒ මදිවට හෙල්මට් එකකුත් නෑ..” රාලහාමි කීය.
 ”ලියන්න නම් එපා රාලහාමි, අපි මොකක් හරි කරන්න බලමුකෝ” පැවසීය.
 ”අන්න තමුසෙට තේරුණා. දැන් තමයි නියම පීල්ලට ආවේ”යි නිලධාරියා කීය.
  ”හා හොඳයි මම මේක මෙතැනින් ‘ක්ලෝස්’ කරල ඉවරයක් කරල දානවා ලියන්නේ නෑ...... තමුන් අර සෙඞ් එකෙන් පෙට්ට‍්‍රල් ගහන මල්ලිට රුපියල් 500   ක් දීලා යනවා. ආයේ එහෙම මගේ අතට අහුවෙන්න එපා” යැයි තරයේම කියා සිටියේය.
 මේ එන්නේ අල්ලසක් ගැනීමට බව වටහාගත් ව්‍යාපාරිකයා ”අද උන්දෑට දෙන්නම් හොඳ ලණුවක්” යැයි සිතින් මුමුණමින් යතුරුපැදිය පදවාගෙන ගිය ඔහු තරුණයාට මෙසේ පැවසීය.
 ”මල්ලී! අර ඩියුටි කරන රාලහාමි මට කිව්වා මල්ලිට කියන්න කියලා රු. 500ක පෙට්ට‍්‍රල් ගහගන්න කියලා, ඩියුටි ඉවර වෙලා යන කොට දෙන්නම් කියලා.”
එවිට යාබද මාර්ගයේ රාජකාරි කළ නිලධාරියා දෙස බැලූ තරුණයාට නිලධාරියා එය අනුමත කළා මෙන් හිසින් සංඥා කළේය.  ව්‍යාපාරිකායා අල්ලස්  මුදල වූ රුපියල් පන්සීයක් තරුණයාට දෙනවා වෙනුවට පන්සියයක පෙට්ට‍්‍රල් යතුරුපැදියට ගසා ගත්තේය.
 තමාගේ නුවණේ මහිමය ගැන ආඩම්බර සිතින් ව්‍යාපාරිකයා රාලහාමි අසලට ගොස් ”රාලහාමි වැඬේ හරි මම යන්නම්” යැයි පැවැසීය.
 නිලධාරියා තරුණයා දෙස බැලූ විට ඔහුද එය අනුමත කර හිසින් සංඥා කළේය. ”හා! හා! යනවා, හැබැයි ආයෙ මේ පැත්ත පළාතෙ එන්න එපා”යි  එවරද අවවාද කළේය.
රාජකාරි නිමවී අල්ලස් මුදල ලබාගැනීමට තරුණයා හමුවූ පොලිස් නිලධාරියා ඔහු පැවැසූ වදන් හමුවේ නිරුත්තර විය.
”මොන සල්ලිද රාලහාමි, මිනිහා රාලහාමි කිව්වා කියලා රු. 500ක තෙල් ගහගත්තා”යි කියන විට තරහා සිතින් පොකැට්ටුව ඇද රු. 500 නෝට්ටුවක් පෙට්ට‍්‍රල්වලට ගෙවා ”ආයෙ මට උන්දෑ අහුවෙන් නැතැ”යි පවසමින් ගියේය.
පසුව මෙම සිද්ධිය පිළිබඳ පුවත ප‍්‍රදේශය පුරා පැතිර ගියේ විදුලි වේගයෙනි. එය පොලිස් නිලධාරියා රාජකාරි කළ පොලිස් ස්ථානයට ද ආරංචි විය.
එහි ස්ථානාධිපතිවරයා නීතිගරුක වූවෙකි. සිද්ධිය කනවැකුණු ඔහු ඉදිරියට කැඳවූ සිද්ධියට සම්බන්ධ නිලධාරියා තමාටත් තම සේවා ස්ථානයටත් සිදුවූ අපකීර්තිය ගැන ඔහුට තරයේ අවවාද කර පරීක්‍ෂණයක්ද පැවැත්වීය.
පසුව එම නිලධාරියා ස්ථාන මාරුවීමක් ලැබගෙන ගියේය.