මීට මාස 8කට පමණ ඉහත දී සාලියවැව ප‍්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක් තුළදී අතුරුදන්වූ බව කියන රන් මුදුවක් සමග සැකකරුවකු නොච්චියාගම ගාලදිවුල්වැවදී අත්අඩංගුවට ගත් බව සාලියවැව පොලිසිය කියයි.
සාලියවැව පළුගස්සේගම ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකු පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශනයක් සිදුකොට මුදුව සමග සැකකරු අත්අඩංගුවට ගත්බව ද පොලිසිය පවසයි.
පැමිණිලිකරු සේම සැකකරු ද ව්‍යාපාරිකයන් වන අතර එළවළු වෙළෙන්දකු වන සැකකරු පැමිණිලිකරුගේ වෙළෙඳසලට අලෙවිකිරීම සඳහා එළවළු තොග රැුගෙන එයි. වෙළෙඳ සලේ තිබූ බව කියන පවුම් භාගයක් පමණ බරැති තම රන් මුදුව අතුරුදන් වී ඇත්තේ එවන් දිනක බව ද පැවසේ.
කාලය මෙසේ ගෙවීගියේය. මේ අතර මුදුවේ හිමිකරු (පැමිණිලිකරු) කිසියම් අවශ්‍යතාවකට පසුගිය දිනක තම ව්‍යාපාරික මිතුරා වන සැකකරු හමුවීමට ඔහුගේ නිවෙසට ගොස් තිබේ. මීට මාස 8කට උඩදී අතුරුදන්වූ තමාගේ රන් මුදුව සැකකරු ඔහුගේ අතක ඇඟිල්ලක පැළඳ සිටින අයුරු පැමිණිලිකරුට එහිදී දැක ගැනීමට හැකිවූ අතර පැමිණිලිකරු මුදුව හඳුනාගත් බව සැකකරුට දැනී ඔහු එය පැමිණිලිකරුගෙන් වසන් කිරීමට උත්සාහ ගෙන ඇත.
සිද්ධිය පිළිබඳව පොලිසියට කළ පැමිණිල්ලක් මත ක‍්‍රියාත්මක වූ පොලිසිය සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමෙන් පසු ඔහු පවසා ඇත්තේ එළවළු ගෝනියක් තුළ තිබියදී මෙම මුදුව තමාට හමුවූ බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු හා මුදුව පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

