කඹුරුපිටිය විශේෂ - කේ. අජිත්
නිතරම අනුන්ගේ පහනේ එළියෙන් තමාගේ වැඩ කටයුතු කරගන්නා පුද්ගලයකුට මුහුණපෑමට සිදු වූ අපූරු පුවතක් මාතර දිසාවෙන් වාර්තා වෙයි.
තමා සතුව යතුරුපැදියක් හා ත්රිරෝද රථයක් තිබුණ ද ඔහු තම ගමන් පහසුව සලසාගනු ලැබුවේ වෙනත් පුද්ගලයන් මාර්ගයෙනි. ඔහුගේ මසුරුකම කොතෙක් දැයි කිවහොත්, බස් රථයකවත් ගමන් නොකර පයින් ගමන් කරන වාර ගණන ද අනන්තය. අතරමගදී හමුවන කාගේ හෝ යතුරුපැදියක යාමට ඔහු භාවිත කළ උපක්රමය වූයේ, ගමනක් යාමේදී තම හෙල්මටය රැගෙන යාමය.
තනි පුද්ගලයකු ගමන් ගන්නා යතුරුපැදියක් පැමිණෙන විටම ඔහු සිනාසී අතින් සංඥා කරයි. කිසියම් අකරතැබ්බයක් වී ඇතැයි සිතා නතර කරන යතුරුපැදිකරු සමග සුහද වන ඔහු යතුරුපැදියට නැගී තමාගේ උගත්කම, වත්පොහොසත්කම් ගැන පුරසාරම් දොඩමින් ගමනාන්තයට යාම ඔහුගේ සිරිතයි. දිගු කලෙක සිට මෙලෙසින් මෙම ක්රියාව කරගෙන යද්දී බොහෝ අය මේ පුද්ගලයා කවුරුන්දැයි හඳුනාගෙන, මොහුගේ මසුරුකමට හොඳ පාඩමක් ඉගැන්විය යුතු යැයි කතිකාවක යෙදිණි.
දිනක් ඔහු තම කාර්යාලයේ වැඩ නිම වී හෙල්මටය ද රැගෙන මග බලමින් සිටියේ කාගේ හෝ යතුරුපැදියක් එනතුරුය. පෙර දී ගමන් වාර කිහිපයක් ගොස් හඳුනාගත් පුද්ගලයකු දුටු ඔහු සිනාසී ඔහු නවතා ගත්තේ ගමනාන්තයට යාමේ අරමුණිනි. ටයරයේ හුළං බැසීම හේතුවෙන් ඔවුන්ට යාමට හැකි වූයේ කෙටි දුරකි.
“හරි මල්ලි, ඉස්සරහා මම හොඳට අඳුනන ටයර් කඩයක් තියෙනවා. එතැනට යමු.”
දෙදෙනා එක්ව යතුරුපැදිය තල්ලු කරමින් ටයර් කඩයට ගිය ද, එහි හිමිකරු පැවැසුවේ, අලුතෙන් ටයරයක් දැමිය යුතු බවයි. මොහුට හොඳ පාඩමක් ඉගැන්වීමට මෙය අවස්ථාවක් වූ බැවින් යතුරුපැදිකරු පවසා සිටියේ, තමා ළඟ මුදල් නොමැති බවයි. තමා සමග පැමිණි පුද්ගලයා ටයර් කඩයේ හිමිකරු හඳුනන බැවින් ඔහු ඇපයට තබා ඉස්තරම් වර්ගයේ ටයරයක් සවි කරවාගත් ඔහු පසු දින සිට දක්නට නොලැබිණි.
දින කිහිපයක් ගත වුව ද තම මුදල නොලැබුණු හෙයින් කඩයේ හිමිකරු ඇප වූ පුද්ගලයාගේ කාර්යාලයටත්, පසු දින නිවෙසටත් ගොස් පෙරැත්ත කොට රුපියල් පහළොස් දහසක මුදලක් ලබාගත් අතර, ඔහුගේ බිරිය ද ඔහුට දොස් නැගුවේ “මෙයාගෙ මසුරුකමට හොඳ පාඩමක් ඉගෙනගත්තා” යැයි කියමිනි.