බේත් ගන්න ආවාම අමුතු ගැටේකට අහුවෙලා


(උණවටුන ඩී.ජී. සුගතපාල)
ගාල්ල නගරයේ පෞද්ගලික ආරෝග්‍ය ශාලාවකට පැමිණි විශ්‍රාමික යුවළකි. ඔවුන් පැමිණියේ සැමියාගේ හන්දි අමාරුවකට විශේෂඥ වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගැනීම සඳහාය. නියමිත වේලාවටම ඔවුන් දෙදෙනා පැමිණ සිටියත් විශේෂඥ වෛද්‍යවරයා පැමිණියේ පැය එකහමාරක් ප්‍රමාදවීමෙනි. මහත් අමාරුවෙන් ඉවසා සිටි යුවළ වෛද්‍යවරයා හමුවී බෙහෙත් තුණ්ඩුව ද ලබාගෙන පිටතට පැමිණියහ.


ඉන්පසු දෙදෙනා ගියේ ඖෂධ ශාලාවකටය. බෙහෙත් ලබාගත් බිරිය අත් බෑගය හැර රුපියල් පන් දහසේ නෝට්ටුවක් ගෙන ඖෂධ ශාලා හිමියාට දුන්නාය. ‘අයියෝ මිස් මේක මාරු කරන්න නැහැනේ. බලන්න මාරු සල්ලි තියෙනව ද කියලා’, ඔහු කීවේය.


ඒ සමගම එතැනට ගොඩවූ පුද්ගලයෙක් ‘දෙන්න නෝනා මම මාරුකරගෙන එන්නම්’ කියමින් බලෙන්ම මෙන් රුපියල් පන් දහසේ නෝට්ටුව ගෙන ඉක්මන් ගමනින් එතැනින් ගියේය. බොහෝ වේලාවක් යනතුරු සිටියත් එම පුද්ගලයා සල්ලි මාරුකරගෙන ආවේ නැත. හිටගෙන සිටීමට අමාරුවූ සැමියා එතැන තිබු පුටුවක වාඩි වූයේය.
පන් දහසේ නෝට්ටුව මරුකරගෙන ඒමට ගිය පුද්ගලයා ආපසු එන පාටක් නැත. 


හෝරා කිහිපයක් ගතවිය. ඖෂධ ශාලා හිමියාට ද කරකියා ගත හැකි කිසිවක් නොවීය. අසල සිටි අයගෙන් එම පුද්ගලයාගේ හැඩ හුරුකම සහ ඇඳ සිටි ඇඳුම් ගැන කියා විමසන්නට විය. “අයියෝ ඒකා කුඩු කාරයෙක් නේ. දැන් ඉතින් හොයන්න හම්බවෙන එකක් නැහැ’ ඔහු ගැන දන්නා කිහිප දෙනෙක් පැවසූහ.


දෙදෙනාගේම ඇස් වලින් කඳුළු කඩා හැලෙන්නට විය. අසනීපයට බෙහෙත් ගන්නට ආවේද, විශ්‍රාම වැටුප ගත් පසු ලබාදෙන එකඟතාව මත වෙනත් කෙනෙකුගෙන් සල්ලි ඉල්ලා ගෙනය. කරකියා ගත හැකි කිසිවක් නොවීය. එකම පිහිටට සිටියේ ඖෂධ ශාලා හිමියා පමණි ‘මහත්තයා බෙහෙත් ටික අරගෙන යන්න, මට සල්ලි පස්සෙ ගෙනැත් දෙන්න.’ ඖෂධ ශාලා හිමියා කීවේය.


අවසානයේ මාසයකට ගත් බෙහෙත්වලින් ද සතියකට පමණක් ලබාගෙන එම මුදල් ද ඊළඟ දවසේ පැමිණ දෙන පොරොන්දුව පිට දෙදෙනා බස් නැවතුම් පොළට පැමිණ බසයකට ගොඩ වුහ.