(මෝදර සී. ඉග්නේෂස් ඇන්තනි)
මළ ගෙදරක ඔට්ටුවට බූරු ගැසූ පිරිසක් පොලිසියට බියේ දුවගොස් විශාල වළකට වැටී තුවාල වූ පුවතක් කොළඹට නුදුරු ප්රදේශයකින් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.
මළ ගේ පිහිටියේ වෙළඅද්දරක පිහිටි ඉඩමකය. රාත්රී වෙනකොට මළගෙදරට පැමිණි පිරිසගෙන් ඉඩම පිරී ගියේය.
පැමිණි පිරිසගෙන් පිරිමි කිහිපදෙනෙක් බූරු ගැසීමට සුදානම් විය. මළගෙදර අය ඊට විරෝධය පෑහ. බූරු ගැසීමට කතිකාකරගත් පිරිස අසල වත්තක බූරු ගැසීම පටන් ගත්හ.
බූරු පොළට ඒකා දෙන්නා වැඩිවිය. බූරු ගැහිල්ලද ඉහළින්ම පැවැත්විණි.
මැදියම් රැය විය. පොලිස් ජීප් රියක් පාරේ එහා මෙහා ගියේය. මේ අතර මළගෙදර සිටි කෙනෙක් පොලිසියෙන් යැයි කියා සංඥාවක් දුන්නේය. ඊට බියවූ බූරුපොළේ සිටි පිරිස මුදල් එතැනම දමා දස අතේ දිව්වෝය. පිරිසක් වෙළ අද්දර තිබූ කුණු දමන ගැඹුරු වළකට වැටිණි. එහි තිබූ වීදුරු කටුවලට කැපී කටු ගස් වලට හීරී ඔවුහු තුවාල වූහ.
ඇතැම් පිරිස් තම තමන්ගේ නිවෙස්වලට ගියහ.
තුවාල වූ පිරිස ලේ පිටින්ම නැවත ඒම ස්ථානයටම ආවේ දමා ගිය සල්ලි හොයා ගැනීම සඳහාය. එහෙත් එතැන සල්ලි නොතිබුණි. බූරු කුට්ටමේ කොළ ටිකක් පමණක් විය. සල්ලි අන්තරස්දාන වී තිබිණි. බූරු කාරයින්ට මෙහෙම වෙන්න ඕනෑ, කියා මළ ගෙදරට පැමිණි දෙතුන් දෙනෙක් මුමුණන්නට වූහ. තුවාල කරුවන්ට මෙම කියමන නොරිස්සුවේ පොලිස් කතාව මළගෙදර සිටි අයකු දුන් ගේමක් බව නොදැනය.