පෝරුවේ ඇද වැටුණ මනාලිය තොවිලය නටද්දී දිස්ටියකට අහුවෙලා


පෝරුවේ චාරිත‍්‍ර සිදු කරමින් සිටිය දී මනාලිය සිහිසුන්ව පෝරුව මත ඇද වැටුණාය. මෙය අසුබ සිද්ධියක් යැයි දෙපාර්ශ්වයේම නෑදෑයෝ පැවසූහ. වහාම මනාලිය රෝහල වෙත රැගෙන යනු ලැබිණි. එයාට ඇති ලෙඩක් නැතැයි වෛද්‍යවරු පැවසූහ. ”දොස්තර මහත්තයට ලෙඬේ අහුවෙලා නෑ. මේක තරහකාරයෙක්ගෙ වැඩක්. කොඩිවිනයක් කරලා ”දිස්ටියක්” එවන්නැති. අපි තොවිලයක් කරමු,” යැයි කපුවා කීය. සියලූ දෙනාම කපුවාගේ කීමට එකඟ වූහ. දැන් තොවිලයට සියල්ල සූදානම්ය. ”හා.... එහෙනං ඔය ආතුරයා මෙහාට එක්කන් ආවනං,” යැයි යකැදුරා කීය. මුළු ගෙදරම උඩු යටිකුරු කරමින් ආතුරයා සෙවූහ. කට්ටියක් හුළු අතු දල්වාගෙන වත්ත පහළට ගියහ. ළිං පතුල්වල ද සෙවූහ. ආතුරයා පේන තෙක්මානයේ නැත. ”අනුමානයක් නෑ.... දිෂ්ටිය අඬගහගෙන යන්න ඇතැයි,” කපුවා කීය. මේ අතරතුර නිවෙසේ අයකුගේ ජංගම දුරකථනය නාද විය. ”ඔය මගුලට මං කැමැති නෑ. මං ආනන්ද එක්ක ගියා. අපි ගැන හොයන්න එපා,” යැයි පණිවුඩයෙන් කියවුණි. ”අයියෝ මගෙ කපුකමේ ගාස්තුවත් තට්ටු වුණායි,” කපුවාට ඉබේටම කියවුණාලූ.