පොඩි දෙයක් කියන්න ගිහින් අලි අමාරුවක වැටිලා


කාන්තාවන් දිය නාමින් සිටිනවා බලා සිටි සිහිමඳ පුද්ගලයකුව අල්ලාගත් තරුණයන් පිරිසක්, ඔහුව ප‍්‍රජා ශාලාව අසලට ගෙන ගොස් ලණුවකින් ගැටගසා පිටව ගියහ.

ගමේ පිරිසකට බැඳ දමා සිටි ඔහුව දැකගන්නට ලැබුණි. මේ බව ඔවුන් පොලිස් හදිසි ඇමතුම් අංශයට (119) දැනුම් දුන්හ. විනාඩි කිහිපයකින් පොලිස් රථයක් පැමිණියේ නිලධාරීන් දෙදෙනකුත් සමගය.

”කවුද මෙයාව ගැට ගැහුවේ?” පොලිස් නිලධාරියෙක් රැස්ව සිටි අයගෙන් විමසීය, ”දන්නැහැ සර්, අපි එද්දිත් ගැටගහලා” එතැන සිටි අයෙක් පැවැසීය.
පසුව ඔහුව මුදාහරින ලද අතර ආපසු යෑමට ප‍්‍රථම එක් නිලධාරියකුට වැසිකිළි යෑමේ අවශ්‍යතාව ඇතිවිය. නිවසක් අසල තිබූ වැසිකිළියකට ඇතුළු වූ හෙතෙම තම අවශ්‍යතාව සපුරාගෙන එළියට පැමිණෙන විට දුටුවේ දොර අයිනේ තිබූ කුඩා බූලියකි. එය පරීක්ෂා කළ විට දැකගන්නට ලැබුණේ නීති විරෝධීව පෙරන ලද මත්පැන් සුළු ප‍්‍රමාණයක් එහි අඩංගු බවයි.

ගෙහිමියා නිවසේ සුවසේ ගොරවමින් නිදමින් සිටි අතර ඔහුව අවදි කිරීමට මැලිවූ පොලිස් නිලධාරීන් ඔහුගේ බිරියට පැවසුවේ සැමියා අවදි වූ විට පොලිසියට එන්නැයි පවසන ලෙසය. බූලියද රැුගෙන පොලිස් නිලධාරීහු පිටත්වූහ.

”සුළු සුළු දේවල්වලටත් 119ට කෝල් කරනවාට කාටත්  ඕවා හොඳ පාඩම්” යැයි අයෙක් පැවැසීය.

මෙය අසන්නට ලැබුණේ රත්නපුර දිස්ත‍්‍රික්කයෙනි.