පලා විකුණන මුවාවෙන් සති පොළේ ගංජා විකුණලා


දකුණු පළාතේ වියළි කලාපයේ පිහිටි ග‍්‍රාමීය සති පොළකි. පසුගිය සති අන්තයේ එහි පලා මිටි කීපයක් තබාගෙන සිටි තරුණයකුට ආවේ ජංගම දුරකථන ඇමතුමකි. ඊට  ඕනෑ කමින් සවන්දුන් ඔහු කලබල වී ඒ අසලම වෙළඳාමේ නියුතු මැදිවියේ තැනැත්තකුට තම වෙළඳාම බාර දුන්නේ ”අයියේ මේකත් බලාගෙන මිටියක් රුපියල් දහය ගානේ විකුණන්න. මම තේ එකක් බීලා එනවා” කියමිනි. අසල්වැසි වෙළෙන්දා හිස සොලවා ඊට අනුමැතිය දුන්නේය. මිනිත්තු ගණනක් යාමටත් පෙර පොලිස් කණ්ඩායමක් එතැනට කඩා වැදී ”කෝ මේකා” කියමින් පලා මිටි එහා මෙහා විසි කරන්නට වූයෙන් අසල්වැසි වෙළෙන්දාට තරු පෙනිණ. ”මට බලාගන්න කියලා තේ බොන්න ගියා” ඔහු කීය. ”මොනව බලා ගන්නද? මූ විකුණන්නෙ පලා නෙමෙයි ගංජා” කීමෙන් මවිතයට පත් වූ අසල්වැසි වෙළෙන්දා තමා මේ කිසිවක් නොදන්නා බව පවසා ඉතා අමාරුවෙන් බේරුනාලූ.