පදමට ගසා බයිට් එකට ගෙනා කරවිල පැකැට්ටුව ආපසු දීලා
ඉඳහිට මධුවිත පානය කිරීම ඔහුගේ සිරිතය. දිනක් සේවය නිමාවී නිවෙසට යන ගමන් සුපිරි වෙළඳසලකින් මත්පැන් බෝතලයක් මිලදී ගත් හෙතෙම බිල ගෙවීමට යද්දී ඒ අසල තිබුණු බදින ලද කරවිල පෙති පැකට්ටුවක් දැක, කටගැස්මට සුදුසු බව පෙනී ගියෙන් එයද මිලදී ගත්තේය.
නිවෙසට පැමිණි ඔහු ඇඟපත සෝදා ගැනීමෙන් පසුව මත්පැන් බෝතලය විවෘත කර වීදුරුවක් පුරවා එක හුස්මට බීවේය. පසුව කරවිල බැදුමෙන් කෑලි තුන හතරක් කටට දමා ගත්තේය. මත්පැන් වල සැරට වඩා කරවිල වල තිත්ත ඔහුට දැනුනි. ඔහුගේ මුහුණට විරූපී පෙනුමක් ලැබුණි. තවත් විදුරුවක් කටට වත්කර ගත් ඔහු කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි සුපිරි වෙළඳසල වෙත පයින්ම පැමිණියේය.
”මේ බලන්නකෝ මේකේ තිත්ත. කටේ තියන්න බැහැ” ඔහු කවුන්ටරය අසල සිටි තරුණයකුට තදින් පැවසීය. ”සර් මොකක්ද ප‍්‍රශ්නෙ” ඔහු ඇසීය. ”බලනවකෝ මේ කරවිල හරි තිත්තයිනේ. කන්න පුළුවන්ද. කාලා බලනවාකෝ” ඔහු කීය. ”ඉතින් සර් කරවිල තිත්ත රසනේ. පැණිරස නෙමෙයිනේ” තරුණයා නිවුණු හඬකින් පිළිතුරු දෙමින් පැවසීය.
” ඕක තමුසෙලාම තියාගන්නවා. මට බයිට් පැකට් එකක් දෙනවා” යැයි කියමින් ඔහු බයිට් පැකට්ටුවක් මිලදීගෙන කරවිල පැකට්ටුව කවුන්ටරය මත තබා පිටවිය. මෙය සිදුවූයේ කොළඹ පිහිටි සුපිරි වෙළඳසලකය.

