කොරෝනාව ඇණයක් වී අන්තිමේ නෝනාත් නැතිවෙලා


(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
කොරෝනා නිවාඩු දිනවලදී හිමිදිරි උදෑසන සිට ඇහෙන බිරියගේ කන්කරච්චලය නතර කිරීමට යෙදූ උපක්‍රම සියල්ල වැරදී අවසානයේදී යෙදූ උපක්‍රමයෙන් වෙනදා නොවූ අලකලංචියකට මුහුණදීමට සිදුවූ ස්වාමිපුරුෂයකු ගැන කතාවක් දකුණේ ගමකින් ඇසේ.


ආයතනයක සේවය කරන ඔහුට කොරෝනා නිසා රාජකාරියට වාර්තා කිරීමට තිබුණේ සතියකට දිනකි. නැතහොත් සති දෙකකට දවසකි. අනෙක් හැමදිනයකම ඔහුට සිදුවුණේ නිවසේ රැඳී සිටීමටය. ඒ බිරියගේ කන්කරච්චලයටද හිමිදිරි උදේ සිටම මුහුණදෙමිනි. ඇයගේ මේ අඬහැරය ඇතිවුණේ කොරෝනා ව්‍යසනය ලංකාවට පැමිණීමත් සමගය. ඊට හේතු කිහිපයක්ම නිර්මාණයවී තිබිණ. ඒ සියලු‍ම හේතු කොරෝනා නිසාය.


හේ සතියට එක දවසක් හෝ සති දෙකකට දවසක් රාජකාරියට වාර්තා කිරීම නිසා ඊට පෙර ගෙවූ අතිකාල දීමනා ඇතුළු අනෙකුත් දීමනා අහිමි විය. ලැබුණේද වැටුපෙන් භාගයකි. වැටුප හා දීමනා සමග මාසය ගෙවා ගැනීමට තිබූ සැලසුම් සියල්ලම විනාශවී ගියේය. මේ සමගම නිවසේ අඩුපාඩු අඩුවක් නැතිවම ගොඩගැසෙමින් තිබුණේය. මීට සමගාමීව භාර්යාවගේ හිමිදිරි උදෑසන සිට නගන කන්කරච්චලයද වැඩිවිය. මෙය ඔහුට මහත් හිසරදයක්වී තිබුණේය. ඔහු සිය භාර්යාවගේ කන්කරච්චලය නතර කිරීමට උපක්‍රම කිහිපයක්ම දියත් කළේය.


උදෑසන නැගිට්ට ඔහු සිය භාර්යාවට ‘ගුඩ් මෝනින්’ කීවේ එක උපක්‍රමයක් ලෙසය. මොන ගුඩ් මෝනින් එකක්ද? කොහොමද ගුඩ් වෙන්නේ කුස්සියේ අඩුපාඩු වෙනකොට යයි භාර්යාව කියමින් එතනින්ම දවසේ කන්කරච්චලය ආරම්භ කළාය. එය හරි නොගිය තැන ඔහු කවදාවත්ම නොකළ දෙයක්ද දෙවැනි උපක්‍රමය ලෙස දියත් කළේය. ඒ බිරිඳ උයනවිට ඇයට පොල්ගා දීමට යෑමෙනි. ඔහොම හිටියොත් ඉතින් ගෙදරට වෙලා පොල් ග ගා තමයි ඉන්න වෙන්නේ. ඔය පොල් ටික වෙනදා වගේ මටත් ගාගන්න තිබුණා යයි එදා දවස ඇගේ කන්කරච්චලය එතැනින් පටන් ගැණුනි.
උදෑසන අවදිවූ ගමන්ම ඇය සොයා ගොස් හාදුවක් දීමද ඔහු යෙදූ තෙවැනි උපක්‍රමයය. ඔහු තල්ලු‍කර දැමූ ඇය කීවේ ඔච්චර තමයි කරන්න පුළුවන් වයසට ගිහිල්ලත් තවම මනමාලකම ගිහිල්ලා නැතැයි කියමින් එතැන සිට එදින ඇය කන්කරච්චලය පටන් ගත්තාය.


මේ මොනදේකින්වත් ඇයගේ කන්කරච්චලය නතර කර ගැනීමට නොහැකිවූ ඔහු ඇයගේ කන්කරච්චලය තමාට උදේ නොඇසෙන්න වැඩක් හැදුවේද ඊට හොඳ උපක්‍රමයක් සිතා ගෙනය. ඒ අවදිවූ සැනින් භාර්යාවගේ අඬහැරය නොඇසෙන සේ එදා උදේ ඔහු ගුවන් විදුලිය ක්‍රියාත්මක කළේය. ඔහුගේ අවාසනාවට ගුවන් විදුලියෙන් විකාශය වූවේ විරහ ගීතය. සිතේ තිබෙන ප්‍රකම්පනය සිය සැමියාට ඇසෙන්නට එදා පිටකර ගැනීමට ගුවන් විදුලියේ හඬ බාධාවක් වීම හා එයින් ප්‍රචාරය වූ විරහ ගීත ඇසූ භාර්යාවට යකා නැග්ගේය. මම මේ දවස ගෙනියන්නේ කොහොමද කියල හිත හිතා ඉන්නවා, මේ මිනිහා විරහ ගීත අහනවා යයි කියමින් ඇය ගුවන් විදුලිය උස්සා පොළොවේ ගැසුවේ තුනට හතරට කැඩී සී සී කඩ විසිවෙන ආකාරයටය. මේ සමගම මෙතෙක් දවස් බිරියගේ කන්කරච්චලය උහුලාගෙන සිටි ඔහුට ඇගේ මේ ක්‍රියාවත් එක්ක හොඳටම තරහා ගියේය. එය පිටවූයේ භාර්යාවගේ පිට හරහා ඔහුගේ දරදඬු අත් පාරවල් කිහිපයක්ම පතිත වීමෙනි. එය ගෙදර මහා ගෝරියක් දක්වා වර්ධනයවී ගියේය. ඒ සමගම ඇය රෙදි පිළි ඔතාගෙන දරුවන්ද තනිකර දමා  නිවසින් පිටව මහ ගෙදරට යාමට පිටත් වූවාය. ඇය යන මග බලන් සිටි ඔහුට සිතුණේ උපක්‍රම නොකර වෙනදා මෙන් අදත් පැය කිහිපයක් ඇයගේ කන්කරච්චලය ඉවසුවානම් ඇය ආදරයෙන් බලාගන්නවා යැයි නැන්දම්මාත් මාමණ්ඩියත් තුළ තමා ගැන තිබූ විශ්වාසය අදටත් පළුදු නොවී තිබෙන බවය.