(උණවටුන ඩී.ජී. සුගතපාල)
ඔහු ව්‍යාපාරිකයෙකි.. කලක් එක්තරා සුළු පක්ෂයකට සම්බන්ධව දේශපාලනය කළ නිසා පළාතේ බොහෝ දෙනෙක් ඔහු දැන සිටියහ. ඔහු කිසිදු ලෝබකමක් නැතිව මත්පැනට අත දිගහැර වියදම් කළ පුද්ගලෙයකි. එමෙන්ම මිතුරන්ගේ ඕනෑම හදිසි කරදරයක දී පෙරමුණ ගත්තේ ද ඔහුය. ඔහු සමග මත්පැන් පානය කරන මිතුරෝ පිරිසක් ද වූහ. ඔවුන් අතර විවිධ ක්ෂේත්‍රවල අය වූහ.
පසුගිය දිනවල රටේ ඇතිවූ කොරෝනා තත්ත්වය සමග ඔහුගේ ව්‍යාපාර කටයුතුවලට ද යම් බලපෑමක් සිදුවිය. එහෙත් සිරිත් පරිදි මිතුරන් සමග ‘‘සෙට්“වීමට අමතක නොකළේය.
කොරෝනා වසංගතයෙන් පසුව පළමු වරට මිතුරන් හමුවූයේ එදිනය. ඔහු මිතුරන් ද කැටුව අවන්හලකට ගියේය. බොහෝ වේලාවක් කතා කළේ කොරෝනාවලින් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු ආදාහනය කිරීම ගැනය.
එහි සිටි නීති ක්ෂේත්‍රයට සම්බන්ධ එක් මිතුරකු ඉස්ලාම් ධර්මය පිළිබඳ දිර්ඝ විග්‍රහයක් කළේය.“මම හොඳ සිංහල බෞද්ධයෙක්, හැබැයි කුරානය සම්පූර්ණයෙන්ම කියවල තියෙනවා.“ කියමින් මිතුරා කීවේය.
දැන් දැන් ඔවුන්ගේ කටහඬ උස්ය. එකිනෙකා පරයමින් තම අදහස් ප්‍රකාශ කරන්නට විය. වරෙක එය උණුසුම් විය. වේටර් පැමිණ “සර් වහන්නයි හදන්නේ “කීවේය.
“එහෙනම් ගේනව අපේ බිල“ ඔහු කීවේය. වේටර් බිල ගෙනාවේය. ඔහු පසුම්බිය හැර බිල ගෙව්වේය. වේටර් ද බිල ගෙවා තැටියක තබා ඉතිරි මුදල් ගෙනාවේය. එහි වූයේ රුපියල් විස්සේ නෝට්ටුවකි.
ඔහු යළිත් පසුම්බිය දිග හැරියේය. ඒ හැමදාම වේටර්ට සන්තෝසමක් දීම ඔහුගේ සිරිත නිසාය. ඔහු නෝට්ටුවක් ගෙන විස්සේ නෝට්ටුව මතින්ම තැබුවේය. වේටර්ගේ දෑස් උඩ ගියේය. එහෙත් වේටර් ඒ බව කිසිවකුටත් නොහැඟවෙන ලෙස “තෑන්ක් යූ සර්“ කියමින් ඉවත්ව ගියේය. ඒ සමගම පිරිස ද විසිර ගියහ.
පසුදින උදෑසන ඔහු කිසියම් කටයුත්තකට මුදලක් ගෙවීම සඳහා පසුම්බිය දිග හැරියේය. එහි තිබු රුපියල් පන් දහසේ නෝට්ටුවක් අඩුය. ඔහු බොහෝ වේලාවක් කල්පනා කළේය. වේටර්ට සන්තෝසමට දුන්නේ පන්දහසේ නෝට්ටුව බව පසුව මතක්විය. ඉන්පසුව ඔහු එම අවන්හලට යාම නතර කළේ ලැජ්ජාව නිසාය.