ආබාධිත අයකු ලෙස පෙනී සිටිමින් මිනිසුන් මුළා කර සිඟමනේ නිරත වූ පුද්ගලයකු තමාගේ බොරු ආබාධිතභාවය අමතක වී බසයකට දිව යාමේ සිද්ධියක් බුලත්කොහුපිටිය නගරයේදී පසුගිය දිනකදී වාර්තා විය.
සිද්ධිය සැකවින් මෙසේය.
මෙම පුද්ගලයා මීට සති කිහිපයකට කලින් බුලත්කොහුපිටිය නගරයට ආවේ යාචක වෘත්තියෙන් මුදල් සොයා ගැනීමේ අටියෙනි. කිහිලිකරු දෙකක් ආධාරයෙන් ගමන් කරමින් ආබාධිතයකු ලෙස රඟ දක්වමින් මොහු නගරයේ තිබෙන බස්වලට ගොඩවී සිඟමන් යදිමින් මුදල් එකතු කළේය.
ඔහුගේ බොරුවල රැවටුන ප‍්‍රදේශයේ ජනතාව සිඟන්නාට අනුකම්පා කර හරි හරියට මුදල් පිනට දීමට කටයුතු කළේය. මෙලෙස එක් දිනක් සවස් යාමය පහුවන තුරු නගරයේ සිඟමන් යැදු මෙම පුද්ගලයා තේ එකක් බීමට නගරයේ බස් නැවතුම අසල කඩයකට ගොඩවූයේ තේ එකක් බී නැවත තම නිවස ලා පිටත්වීමේ අරමුණ ඇතිවය.
ඒ වන විටත් රාත‍්‍රිය උදාවෙමින් කරුවල වැටෙමින් තිබිණි.
හෙතෙම ඉක්මනින් තේ එකක රස බැලූවේ නගරයේ සිට තම ගමට යාමට අවසන් බසය පිටත්වීමට ඒ වන විටත් වේලාව ආසන්න වී තිබුණ බැවිනි. ඔය අතරතුර බුලත්කොහුපිටිය නගරයේ සිට කෑගල්ලට ධාවනය වන අවසන් බසය පිටත්වීමට සූදානම් විය. බසය පිටත්වීමට යන බව දුටු සිඟන්නා කලබලයට පත්විය. වහාම තේ එකේ මුදල් ගෙවු ඔහු බසය වෙත දිව ගියේ කිහිලිකරු දෙක ද අමතක කරමිනි. මෙතරම් දවසක් ආබාධිතයකු ලෙස හැසිරෙමින් සිඟමන් යැදී මෙම පුද්ගලයාගේ බොරුව මෙම සිදුවීම නිසා එළිවුණ බව නගරයේ ජනතාව කියති. තවමත් එම තේ කඩයේ බොරු සිඟන්නාගේ කිහිලිකරු දෙක තිබෙනවාලූ.

