අනුන්ගේ හලෝ මල්ලට වැටී ගෙදර අලි ගෝරි


බස් රථයක හිටගෙන ගිය කාන්තාවකගේ ගමන් මල්ල වාඩිවී ගිය පුද්ගලයෙකු ඔඩොක්කුවේ තබාගෙන සිටියදී ඔහුගේ ජංගම දුරකතනය එම බෑගයට දැමීම හේතුවෙන් මහත් ජංජාලයක් සිදුවිය.

සිද්ධිය සැකෙවින් මෙසේය.

එය මහනුවරට නුදුරු ගම්මානයකට යන බස් රථයකි. එම මාර්ගයේ බස් සීමිත බැවින් බස් රථයේ සෙනඟ පිරී සිටියහ. බස් රථයේ මැද අසුනක මැදිවියේ පුද්ගලයකු වාඩිවී සිටි අතර ඒ අසල විශාල ගමන් මල්ලක් අතැතිව මැදිවියේ කාන්තාවක සිටගෙන සිටියාය. එම කාන්තාව ගැන දුක සිතුණු මෙම පුද්ගලයා ඇයගේ ගමන් මල්ල ඉල්ලාගෙන ඔඩොක්කුවේ තබා ගත්තේය.

ටික දුරක් යනවිට ඔහුගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබිණි. කලිසම් සාක්කුවෙන් ජංගම දුරකතනය ගෙන කතා කළ ඔහු එය අතේම තබා ගත්තේය. තවත් ටික දුරක් යනවිට යාන්තම් නිදිමත දැනුණෙන් දුරකතනය බිම වැටෙන්නට යද්දී එය අල්ලාගෙන ඔඩොක්කුවේ තිබූ මල්ලට දැමුවේ නිදිමතේය. මේ බව මල්ල හිමි කාන්තාව නොදුටුවාය.

තවත් ටික දුරක් යන විට තමන්ගේ මල්ලද රැගෙන කාන්තාව බැස ගියාය. නිවසට ගිය කාන්තාව මල්ල මේසය මත තැබුවාය. ටික වේලාවකින් මල්ල තුළින් දුරකතනයක් නාද විය.

තම භාර්යාවගේ ගමන් මල්ලෙන් දුරකතනයක් නාද වනු ඇසුණු ඇගේ සැමියා එම දුරකතනය ගෙන කතා කළේය.

දුරකතනයේ එහා කෙළවරෙන් ”දැන් බස් එකේ ආව නෝන නැද්දැයි” ඇසීය.

”මේ ඒ නෝනගේ මහත්තය තමයි කතා කරන්නේ”

”නෝනට පොඞ්ඩක් කතා කරන්නකෝ...” යැයි නැවතත් ඔහු කීවේය.

කාන්තාවගේ සැමියාට තරහ පාලනය කරගත නොහැකිව තම භාර්යාව සමග හොඳ අඩව්වක් අල්ලා අවසානයේ තත්ත්වය පැහැදිලි කර ගැනීමට සමත්විය.