අනියම් පෙමට අකුල් හෙලූ කතට ගුටි


එය ගාල්ලේ ග‍්‍රාමීය මාර්ගයක ධාවනය වන බසයකි. බසය බස් නැවතුම් පොළට එනවිටම එයට ගොඩවී අසුනක වාඩිවීමට බොහෝ දෙනා තරගයක යෙදෙන අතර තවත් සමහරු තම හිතමිතුරන් සඳහා ආසන වෙන්කර ගනිති. මේ අතර කාන්තාවක් තම දරුවන් සමග බසයට ගොඩවූයේ නිවෙසට යාමටය. ඇය බසයේ ගමනාන්තය තෙක් යන කාන්තාවකි. දරුවන් දෙදෙනා ඉඩ තිබූ දෙතැනක වාඩි කළ ඇය වට පිට බැලූවේ තමාට ද වාඩිවීමට ඉඩ ඇති තැනක් සොයා ගැනීමටය. පිටුපස අසුනේ කෙළවරක තවත් කාන්තාවක් වාඩිවී සිටි අතර එහි තවත් අයකුට වාඩිවීමට ඉඩ තිබිණි. ඇය එතැනට ගොස් වාඩිවීමට සූදානම් වූවාය. එවිට එහි වාඩිවී සිටි කාන්තාව එයට විරෝධය පළ කරමින් ”මෙතැන එක්කෙනෙක් ඉන්නවා” යයි කීවාය. එහෙත් එය ගණනකට නොගත් ඇය ”හරි එයා ආවම සීට් එක දෙන්නම් එතකම් මං වාඩිවෙල ඉන්නම්” කියමින් වාඩිවූවාය. මේ අතර වාඩිවී සිටි කාන්තාව ජංගම දුරකථනයෙන් කිසියම් අයකුට සිද්ධිය පැවැසූ අතර බසයද නියමිත වේලාවට පිටත්විණි. අතරමගදී බසයට ගොඩවූ අයකු කෙළින්ම පිටුපස අසුන වෙත පැමිණ ”නැගිටපන් ගෑහනියේ” කියා පහර දෙන්නට විය. මෙසේ පහර කෑමට ලක් වූයේ පසුව වාඩිවූ කාන්තාවය. බසය තුළ එකම ගාලගෝට්ටියකි. පසුව ඇය නතරවූයේ ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේය. සැකකරු තමාට පහරදී රුපියල් දස දහසක් වටිනා රන්මාලය කොල්ලකෑ බවට ඇය පැමිණිලි කළාය. පරීක්ෂණවලදී අනාවරණය වූයේ අනියම් සම්බන්ධතාවයකට ආසනය වෙන්කර තබාගෙන ඇති බවය. ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොහාන් වික‍්‍රමසේකර මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක ටී. එල්. විජේවංශ මහතා සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.