(ටී.කේ.ජී.කපිල )
විදේශයන්හි රැදී සිටින ශ්‍රී ලාංකිකයන් එම රටවල සිට යළි ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ, ඉදිරි දිනවලදී තවත් ශ්‍රී ලාංකිකයන් 825 ක පමණ ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය සැළසුම් සකස් කරමින් සිටින බව විදේශ සබදතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් ආචාර්ය , අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසීය.
ඒ අනුව හෙට(11) පිලිපීනයේ මැනිලා නුවර සිටද, 13වැනිදා මාලදිවයින මාලේ නුවර සිටද, 15 වැනිදා පාකිස්තානයේ ලාහෝර් නුවර සිටද ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා 3 ක් මගින් මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙන ඒමට නියමිතය.
ඊට අමතරව ඉන්දියාව වෙත යෑමට නොහැකිව මෙරට තුළ තවදුරටත් රැදී සිටින ඉන්දීය ජාතිකයන් පිරිසක් 15 දින බැංගලෝර් නුවර වෙතත් , 22 දින නවදිල්ලි නුවර වෙතත් , ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා 02 ක් මගින් රැගෙන යෑමට නියමිත බව ඉන්දීය ගුවන් සේවයේ ප්‍රකාශකවරයෙක් පැවසීය.
මේ අතර අද දහවල් 12.45 ට එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් එරට සිට ගුවන් මගීන් 9 දෙනෙකු පැමිණ තිබේ.
මෙම ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගීන් පිරිස සහ එම ගුවන් යානා කාර්යය මණ්ඩලය කටුනායක ගුවන් තොටුපළ තුළදීම පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කෙරුණි .

