ප්‍රවාහන සේවා හෙට සිට සාමාන්‍ය පරිදි කරන්න අනුමැතිය


(ඩයනා උදයංගනී)

අන්තර් පළාත් බස් සේවාවන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ද හෙට (8) සිට ක්‍රියාත්මක කරවීමට සෞඛ්‍ය අංශවල අනුමැතිය අද (7) හිමිවූ බවත්, ඒ අනුව හෙට සිට සියලු පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවත් මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ඒ අනුව සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් අනුව සියලු පොදු ප්‍රවාහන සේවා හෙට (8) සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.


දුම්රිය සහ බස්රථවල ආසන සංඛ්‍යාවට පමණක් මගීන් ප්‍රවාහනය කිරීම අනිවාර්ය කර ඇති අතර ගමන් ගන්නා සියලු දෙනා මුව ආවරණ පැළඳ ගමන් කළ යුතු බව ද අමාත්‍ය අමරවීර මහතා ප්‍රකාශ කළේය.

පොදු ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ ප්‍රවාහන සේවාවන්ට අදාළ පාර්ශව අතර හෙට (8) දිනයේදී පැවැත්වීමට නියමිත බව කී අමාත්‍යවරයා එහිදී ජනාධිපතිවරයා ලබාදෙන උපදෙස් අනුව මතුවන ගැටලු මගහරවමින් ඉදිරි පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කරන බව ද පැවසීය.


සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් අනුව ආසන සංඛ්‍යාව අනුව පමණක් මගීන් ප්‍රවාහනය කිරීමේදී දැනට පවතින ලංගම හා පෞද්ගලික බස් රථ ප්‍රමාණවත් නොවන බැවින් විකල්පයක් ලෙස සංචාරක සේවා බස්රථ මෙන්ම දැනට ලියාපදිංචිය සඳහා පොරොත්තු ලේඛනයේ ඇති බස් රථ ද මගී ප්‍රවාහනය සඳහා තාවකාලිකව ලියාපදිංචි කිරීමට පියවර ගෙන තිබෙන බව ඇමති අමරවීර මහතා සඳහන් කළේය.

එම තාවකාලිකව ලියාපදිංචි කරන බස් රථ අවශ්‍යතාව අනුව පමණක් ධාවනයට යොදවන ලෙස තමන් ගමනාගමන කොමිසමට උපදෙස් දී ඇතැයි ද ඇමතිවරයා පැවසීය.