තීරණ ගැනීමේ බලය දිස්ත්‍රික් ලේකම්වරුන්ට


(ඩයනා උදයංගනී)

කොවිඩ්-19 වසංගතය රට පුරා ව්‍යාප්ත වීම පාලනය කරමින් තම තමන්ගේ දිස්ත්‍රික්ක ආරක්ෂා කිරීම සඳහා උපරිම ක්‍රියාමාර්ග ගැනීමේ සහ ආර්ථික මට්ටම හා ජන ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය තින්දු තීරණ ගැනීමේ බලය දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට පවරා තිබේ.

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ අද (3) පැවති සාකච්ඡාවකදී මෙම පියවර ගෙන ඇත.

ලොව ප්‍රධාන පෙළේ රටවල කොවිඩ් වසංගතය හමුවේ දැඩි සංචරණ සීමා පනවා ඇති අවස්ථාවක වුවද මුළු දිවයිනටම ඇඳිරිනීතිය පැනවීමෙන් තොරව ජනතාවගේ අවශ්‍යතා සපුරාලමින්, වසංගතය පාලනය කිරීමට අවශ්‍ය තීන්දු තීරණ නිසි පරිදි ගන්නා බවද බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ගොවියා සහ පාරිභෝගිකයා ආරක්ෂා වන ආකාරයෙන් කෘෂිකර්මාන්තය මෙන්ම සෞඛ්‍ය, ප්‍රවාහනය, ධීවර කටයුතු, කර්මාන්ත, ජල හා විදුලි සැපයීම, කසල කළමනාකරණය, ඉන්ධන සැපයීම, ගොවීන් වෙත ප්‍රමිතියෙන් යුතු පොහොර ලබාදීම ආදී අත්‍යාවශ්‍ය කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යායුතු බව ද මෙහිදී අවධාරණය කෙරුණි.