තවත් ගැබිණි මවක් කොරෝනාවට බිලි


(ඩයනා උදයංගනී සහ එම්.කේ නන්දසේන)

කොවිඩ් ආසාදිතව මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 35 හැවිරිදි ගැබිනි මවක් අද (16) මියගොස් ඇත.

එය මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිත සිව්වන ගැබිනි කාන්තා මරණය වේ. තිස්සමහාරාම, ශ්‍රී ජිනරතන මාවතේ පදිංචිව සිටි මුතුකුඩ ආරච්චිගේ නිරෝෂි නැමති 35 හැවිරදි තිදරු මවක් මෙසේ මියගොස් ඇත.

ඇයගේ කුසේ සිටි මාස 8ක් වන බිළිඳිය ද මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. තිස්සමහාරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රභාත් ලියනාරච්චි මහතා පැවසුවේ මෙම ගැබිණි කාන්තාවටත් ඉකුත් 5 වනදා උණ සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීම නිසා දෙබරවැව රෝහලට ඇතුළත් වී ඇති බවත්, එහිදී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී ඇය කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇති බවත්ය.

ඉන්පසු ඇයව මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කර ඇතැයි ද ඔහු පැවසීය. ඇගේ සැමියා ද කොවිඩ් ආසාදිත වී ප්‍රතිකාර සඳහා අම්බලන්තොට රෝහලටත් ඇතුළත් කර තිබේ.

මෙම ගැබිනි කාන්තාව ඇතුළු පවුලේ ඥාතීන් 12 දෙනෙක් අප්‍රේල් 29 වැනිදා මහරගම ප්‍රදේශයේ පැවැති දැරියකගේ වැඩිවිය පැමිණීමේ සාදයකට සහභාගී වී ඇති අතර පසුව එයට සහභාගී වූ මහරගම පදිංචි 17 දෙනෙකු ආසාදිතයින් ලෙසට හඳුනාගෙන ඇතැයි වාර්තා වේ. මෙම ගැබිනි මවට එහිදී ඇයට කොවිඩ් ආසාදනය වන්නට ඇතැයි සෞඛ්‍ය අංශ සැකකරයි. ඇයට තවත් දියණියන් තිදෙනකු සිටී.