
(ටී.කේ.ජී. කපිල)
ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (19) සවස 4.00 වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 39 දෙනෙකු වාර්තා වී ඇත. ඉන් 10 දෙනෙකු කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළින්ද, තවත් දෙදෙනෙකු මෙම කලාපයට පිටතින් පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් නොවන කර්මාන්තශාලා වලින්ද සොයාගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.
ඒ අනුව මේ දක්වා කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත සේවකයින් සංඛ්‍යාව 224 ක් බවත්, මෙම කලාපයට පිටතින් පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් නොවන කර්මාන්තශාලා වලින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත සේවකයින් සංඛ්‍යාව 22 ක් බවත් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.
එසේම ගම්පහ දිස්ත්‍රික්කය තුළ අද සවස 4.00 වනවිට සොයාගත් කොරෝනා ආසාදිත රෝගීන් සමග දිස්ත්‍රික්කයේ සමස්ත කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 1,632 දක්වා ඉහළ ගොස් ඇති බව ද ඈපා මහතා පැවසීය.
ඒ සමගම කටුනායක, සීදුව මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසය තුළින් අද දින කොරෝනා ආසාදිත රෝගීන් 25 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණ වලින් තහවුරු වී ඇති අතර ඔවුන් වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා දිවුලපිටිය රෝහල වෙත යොමු කර ඇති බව එම කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය.

