රථවාහන නීති කැඩූ රියැදුරන් 23කට ලක්ෂ 7ක දඩ


(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)

රථවාහන  නීති  කඩ කරමින්  රිය පැදවු  පුද්ගලයන්  23 දෙනෙකු අධිකරණය  ඉදිරියේ වරදකරුවන්වීම හේතුවෙන්  ඔවුන්ට  රුපියල්  730,000ක  දඩ  මුදලක්  ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා  අද   (02) දා නියෝග කළේය.

බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශය තුළ වලංගු රියැදුරු බලපත්‍රයක් නොමැති රිය පැදවු පුද්ගලයන්  17 දෙදෙනකුට,  එක් අයෙකුට රුපියල් 25,000 ක  බැගින්  රුපියල් 425,000 ක දඩ මුදලක් ද, වලංගු රියැදුරු බලපත්‍රයක් නොමැතිව බීමතින්  රිය පදවා  අධිකරණය ඉදිරියේ වරදකරුවන් වූ  පුද්ගලයන් 5 දෙනෙකුට එක් අයෙකුට රැපියල් 50,000  බැගින්  250,000 ක  දඩ මුදලක් ද , වලංගු රියැදුරු බලපත්‍රයක් සහ ආදායම් බලපත්‍රයක් නොමැතිව  බීමත්ව රිය පැදවු එක්  පුද්ගලයෙකුට රුපියල් 55,000 ක දඩ  මුදලක්ද ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ඉකුත් දින  පහ තුළ  මොවුන්  විසින්  බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශය තුල  මෙලෙස   රථවාහන නීති උල්ලංඝනය කරමින් රිය  පදවා  ඇත. එහිදී බලන්ගොඩ පොලිසියේ නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන  ඔවුන්ට එරෙහිව  නඩු  පවරා අධිකරණට ඉදිරිපත්  කරන ලදී.

බලන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති බී.එම්.අරේ.කේ.බී. බාලසූරිය මහතාගේ උපදෙස් පරිදි  රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ජයතිස්ස  සහ උප පොලිස් පරීක්ෂක  ප්‍රේමසිරි  යන නිලධාරීන් විසින් මෙම වැටලීම කරනලදී.