‘ZeroPlastic ප්‍රථම ප්ලාස්ටික් විකල්ප මධ්‍යස්ථානය අරඹයි


සීගිරියේ සංචාරක වටිනාකම ශිල්පීය ජීවනෝපායන් බවට පරිවර්තනය කරයි


ZeroPlastic Impact Center සිය ව්‍යාපෘතියේ පළමු අදියර ආසියාවේ වැඩිම සංචාරක ආකර්ෂණයක් හිමි ලෝක උරුම ස්ථානයක් ලෙස සැලකෙන සීගිරියේ දී සාර්ථකව අවසන් කළේය. එම ව්‍යාපෘතියෙන් සීගිරියට පැමිණෙන සංචාරකයන්ගේ දායකත්ව‍යෙන් දේශීය අත්කම් ශිල්පී පවුල් 100කට අධික සංඛ්‍යාවකට තිරසාර ආදායම් අවස්ථා නිර්මාණය කිරීමට ඔවුන් සමත් වී තිබේ. 

අද වන විට බොහෝ සංචාරකයන් සීගිරියට පැමිණෙන්නේ පෞරාණික සීගිරි පර්වතය නැරඹීමට වුවද, දැන් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සංචාරය නිමවා ඉන් පිටත්ව යන්නේ, තමන්ගේම දෑතින් උණ බම්බු නිර්මාණයක් සකස් කර අපූරු අත්දැකීමක් සහ භාවිතයෙන් ඉවත් කරන ලද ප්ලාස්ටික්වලින් තොරව සිය සංචාරය සිදුකරන බවට ලබාගත් ප්‍රතිඥාවක් ද සමගිනි. මේ තුළින්, ලාභදායී ප්ලාස්ටික් භාණ්ඩ හේතුවෙන් සාම්ප්‍රදායික වෙළෙඳාම අහිමි වී ගිය ශ්‍රී ලාංකික අත්කම් ශිල්පීන්ගේ ආදායම් මාර්ග සවිබල ගැන්වීමට හැකි වී තිබේ.

යුනෙස්කෝ ලෝක උරුමයක් වන සීගිරිය ආශ්‍රිතව, පරිසර හිතකාමී හා තිරසාර සංචාරක අත්දැකීම් සඳහා නව ආදර්ශයක් සපයමින් ‘ZeroPlastic Movement’ විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘ප්ලාස්ටික් විකල්ප සහ අත්කම් අත්දැකීම් මධ්‍යස්ථානය‘ පසුගියදා සිය පළමු මෙහෙයුම සාර්ථකව අවසන් කළේය. සීගිරිය පාරේ රොටවැව ප්‍රදේශයේ පිහිටි මෙම මධ්‍යස්ථානය ආරම්භ වූයේ එම කලාපයේ පරිසර සංරක්ෂණය සහ තිරසාර සංචාරක සහභාගීත්වයක් ඉලක්ක කර ගනිමිනි. 

මෙම Impact Center සාමාන්‍ය තෑගි භාණ්ඩ අලෙවිසලක් හෝ ප්‍රදර්ශනාගාරයක් පමණක්ම නොවේ. මෙහි පැමිණෙන සංචාරකයන්ට දේශීය ශිල්පීන්ගේ මගපෙන්වීම යටතේ උණ බම්බු සහ පොල්කටු ආශ්‍රිත අත්කම් නිර්මාණවලට සහභාගී වීමට අවස්ථාව උදා වේ. එලෙස තමන් සාදන ලද එම නිර්මාණය සමග ආපසු නිවසට රැගෙන යාමටත් ඔවුන්ට අවස්ථාව හිමිවන අතර, මෙහිදී අනවශ්‍ය ප්ලාස්ටික් භාවිතයෙන් වැළකී සිටීමට සහ පරිසර හිතකාමී ක්‍රියාකාරකම්වලට සහාය දීමටත් ඔවුහු ‘ZeroPlastic වෙත ප්‍රතිඥාවක් ලබා දෙති. එසේම මෙහිදී සීගිරි පරිසරයට එකතු වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය පිළිබඳව සංචාරකයන්ව දැනුවත් කරන නිහඬ සිහිවටනයක් ලෙස දේශීයව එකතු කරන ලද ප්ලාස්ටික් බෝතල් මූඩිවලින් සාදන ලද සම්ප්‍රදායික වෙස් මුහුණක් සෑම සහභාගිවන්නකුටම තිළිණ කෙරේ.

මෙම මධ්‍යස්ථානය ‘Intrepid Travel’ ආයතනයේ පුණ්‍යායතනය වන ‘The Intrepid Foundation’ හි මූල්‍ය ආධාරයෙන් පිහිටුවන ලදී. ඔවුන් ZeroPlastic ආයතනයට ඇමෙරිකානු ඩොලර් 50,000ක මුදලක් ලබා දුන් අතර, ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරක ගමන් මාර්ගවලට මෙම මධ්‍යස්ථානය ද ඇතුළත් කර ඇත. කොළඹ පිහිටි උපායමාර්ගික මහජන සම්බන්ධතා සන්නිවේදන ආයතනයක් වන ‘Mark and Comm’ ආයතනය ZeroPlastic Movement හි නිල සන්නිවේදන සහකරු ලෙස කටයුතු කරයි.

මෙම අත්කම් නිර්මාණ පිටුපස, ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින අත්කම් ශිල්පී පවුල් 100කට අධික සංඛ්‍යාවක් සම්බන්ධ වන සැපයුම් දාමයක් පවතී. පසුගිය දශක දෙක තුළ වෙළෙඳපොළට ගලා ආ ප්ලාස්ටික් භාණ්ඩ නිසා තම උණ, වේවැල්, පන් සහ ස්වාභාවික තන්තු ආශ්‍රිත සාම්ප්‍රදායික වෙළෙඳාම අහිමි වී ගිය ප්‍රජා සඳහා මෙම මධ්‍යස්ථානය නව වෙළෙඳපොළක් නිර්මාණය කර ඇත.