හෙළ ඇපරල් රැ.බි. 4.4කට සුදුසු ආයෝජකයන් සොයයි


භානුක අමරසිංහ 
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ඇගලු‍ම් නිෂ්පාදන සමාගමක් වන හෙළ ඇපරල් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සිය ව්‍යාපාරය සඳහා සුදුසු ආයෝජකයන් සමගින් සාකච්ඡා පවත්වමින් සිටින බව පවසයි. 
පසුගියදා එම හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් එම සමාගම මේ පිළිබඳව අනාවරණය කර තිබේ. 
විශේෂයෙන්ම මෙරට බැංකු සමගින් පවතින සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන එකඟතාවට අදාළව මෙලෙස නව ආයෝජකයන් පිළිබඳව අවධානය යොමු කර තිබෙන බව සමාගම සඳහන් කරයි. මෙම එකඟතාවේ පවතින කොන්දේසි යටතේ සමාගමේ දැනට සිටින ප්‍රධානතම කොටස් හිමිකරුවන් විසින් රුපියල් මිලියන 682ක ආයෝජනයක් සිදු කළ යුතුව ඇති අතර, උපායමාර්ගික ආයෝකයන් හරහා ආසන්න වශයෙන් රුපියල් බිලියන 3 සිට බිලියන 4.4 ක් දක්වා වන නව ආයෝජනයක් සම්පාදනය කරගත යුතුව තිබේ.  
“ආයෝජකයන් සමගින් පවත්වන මෙම සාකච්ඡා ඉතාමත් හොඳින් සිතු වෙනවා. එමගින් වඩාත් හොඳ ප්‍රතිඵලයක් අත්පත් කරගැනීමට සමාගම අපේක්ෂා කරනවා. ඒ හරහා සමාගමේ ද්‍රවශීලතා තත්වය තවදුරටත් ඉහළ නැංවීමට හැකිවේවි.“ යනුවෙන් හෙළ ඇපරල් හෝල්ඩිංග්ස් පීඑල්සී පවසයි.