කාන්තාවන් දහඅට දෙනකු වැඩ කළ තැන දැන් ඉන්නේ පස්දෙනයි
ලැබෙන ආදායම නම් මදි. කෑලි ගාණටයි ගෙවන්නේ. ගානක් හම්බ කරන්න නම් හොඩක් මහන්සි වෙන්න ඕන
අලුත් පරම්පරාවක් අතරට පේෂකර්මාන්තය ගෙන යායුතුම කාලය මේ කාලයයි
රටක් දියුණු කරනවා කියන්නේ රටේ තියෙන දේශීය කර්මාන්ත එහෙම පිටින්ම වළ දාලා පිටරටින්ම බඩු ගේන එක නෙමෙයි
දේශීය කර්මාන්ත කඩා වැටෙනවා කියන්නේ රටේ ප්‍රශ්න වැලක් නිර්මාණයවීමක්
කරන්දෙණිය එම්.සුසිල් පියන්ත
දේශීය කර්මාන්ත රැක නොගැනීමේ ආදීනව දැන් අපි භුක්ති විඳිමින් සිටිමු. අපේ රට ආපස්සට යාමට එය ප්‍රබලම හේතුවක්වූ බවද නොරහසකි. දේශීය කර්මාන්තයක් බිඳ වැටෙන්නට ඊට සමානුපාතිකව රැකියා වියුක්තියද වැඩි වන්නේ ඊයක වේගයෙනි. රටේ දළ දේශීය නිෂ්පාදිතයද ඊට සමගාමීව අඩු වන්නේය. අපනයන ආර්ථිකය ආපස්සට යන අතර ආනයන ආර්ථිකය අඩියෙන් අඩිය ඉස්සරහට වර්ධනය වන්නේ රට දුප්පත් කමේ ආගාධයට ඇද දමමිනි.
මේ වනවිට රටට ආවේනිකවූ පාරම්පරික කර්මාන්ත රැසක්ම ගොස් ඇත්තේ වළපල්ලටය. අප අද අනාවරණය කරනුයේද එවන් කර්මාන්තයක් ගැනය.
අත් යන්ත්‍ර හා පේෂ කර්මාන්තය නැතහොත් වීවින් කර්මාන්තය අපට නුහුරු නුපුරුදු කර්මාන්තයක් නම් නොවේ. එදා අතීතයේ අප පාරිභෝජනය කළේ අපේම රටේ අපේම කතුන් අතින් නිෂ්පාදනය කෙරුණු සළු පිළිය. ඒ රෙද්ද අපට ඉස්තරම්ය. එදා අපි ඒ රෙදි පිළි ආඩම්බරයෙන් ඇන්දෙමු. මේ නිසාම එදා අපේ අත් යන්ත්‍ර හා පේෂ කර්මාන්තයට හොඳ තැනක් තිබුණු බව නොකියාම බැරිය.
ඉල්ලුම තරමට සැපයුම ලබාදීමට නොහැකිවූ නිසාම අත් යන්ත්‍ර හා පේෂකර්ම මධ්‍යස්ථාන හෙවත් වීවින් ගමෙන් ගමට පිහිටුවනු ලැබීය. ඒ විතරක්ම නොව ඊට විකල්පයක් ලෙස පේෂකර්ම මධ්‍යස්ථානවලින් පරිබාහිරව නිවෙස් වලද රෙදි වියන්නට පටන් ගත්තේය. එකල රෙදි වියන යන්ත්‍රයක් නැති නිවසක් සොයා ගැනීමට නොහැකි තරමටම මේ කර්මාන්තය දියුණුවූවේය. එදා අපේ රට පාලනය කළ සමහර ඇත්තන්ද ඇන්ඳේ අපේම ළඳුන් අතින් නිෂ්පාදනය කරනු ලැබූ රෙදිවලින් නිර්මානය කෙරුණු ඇඳුම්, පැළඳුම්ය.
නිසි කළමනාකරණයක් නැති විවෘත ආර්ථිකයත් සමගම අපේ ඇත්තෝ ඇති තරම් පිට රටින් රෙදි පිළි ආනයනය කළෝය. අපේ දේශීය රෙදි පිළි කර්මාන්තය තුට්ටුවකටවත් මායිම් නොකොට රෙදි පිළි ආනයනය කෙරිණ. අපේ අත් යන්ත්‍ර හා පේෂ කර්මාන්තය කඩා ඉහිරෙන්න පටන් ගන්නේ එතැන් සිටය. අසල්වැසි ඉන්දියාවේද විවෘත ආර්ථිකය ක්‍රියාත්මක වෙමින් පවතී. එහෙත් දේශීය රෙදි පිළි කර්මාන්තයට එයින් බැලපෑ හානිය අවමය. ඉන්දියානුවෝ විවෘත ආර්ථිකය සමග දේශීය රෙදි පිළි කර්මාන්තයද සමබරව ගෙන හියහ. ඒ නිසාම දෝ ඉන්දියාවේ රෙදි පිළි නිෂ්පාදනය කිරීමේ ගම්මාන එහේම පිටින්ම නොනැසී තවමත් තිබේ.
අසල්වැසි ඉන්දියාව මෙන් නොව අපේ රටේ අත් යන්ත්‍ර හා පේෂ කර්මාන්තය දිනෙන් දිනම කඩා වැටෙමින් තිබේ. එමගින් දහස් ගණනකගේ රැකියා අනතුරේය.
දේශීය කර්මාන්ත රැක ගනිමින් සාර්ථකව විවෘත ආර්ථිකයට මුහුණ දෙන රටවල් ලෝකයේ නැතුවා නොවේ. එවන් රටවල් රැසකි. ඒ හැම රටක්ම මොන විදියට සිය රටේ විවෘත ආර්ථිකය ක්‍රියාත්මක කෙරුණද දේශීය කර්මාන්ත රැක ගත්තේය.
අපේ රටේ අත් යන්ත්‍ර පේෂ කර්මාන්තයට උදාවී ඇති අවාසනාවන්ත තත්වය පිළිබඳව කිහිපදෙනෙක්ම අදහස් දැක්වූහ.
එම්. ඩබ්ලිව්. ශිරානි: මම වැඩකරන තැන කාන්තාවන් දහඅට දෙනෙක් වැඩ කළා. දැන් ඒක පහට බැහැලා. ඒ පස් දෙනත් පනහට වැඩිය වැඩි අයයි. මේ කර්මාන්තයට අලුත් පරම්පරාව එන්නේ නැති තත්වයක් තියෙනවා. අලුත් පරම්පරාව අතර මේ කර්මාන්තය ජනප්‍රිය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතුයි. නැත් නම් මේ ටිකවත් නැත්තටම නැතිවේවි. අපේ අත් යන්ත පේෂ කර්මාන්තය දියුණු කරන්න පුළුවන් කර්මාන්තයක්. කොච්චරනම් ළමයි ඉන්නවද ගෙවල් වල නිකං. ඒ අයට මේක ස්වයං රැකියාවක් ලෙස කරන්න පුළුවන්. නිවසේ ඉඳලම ආදායමක් ගන්න පුළුවන් වැඩක්.
එම්. ඩබ්ලිව්. කරුණාවතී: අපි කාලයක් තිස්සේ ඉඳලාම මේ කර්මාන්තය කරගෙන යනවා. ලැබෙන ආදායම නම් මදියි. කෑලි ගාණටයි ගෙවන්නේ. ගානක් හම්බ කරන්න නම් ගොඩක් මහන්සි වෙන්න ඕන. මහන රෙදි කෑල්ලක ගාන වැඩි කරනවනම් තවත් මහන්සි වෙන්න හිතෙනවා. නිවසේ නිකම් ඉන්නවට වඩා මේ වීවින් එකට ඇවිල්ලා වැඩ කරන එක හොඳයි කියලා හිතෙන නිසා එනවා. මේ කර්මාන්තය දැන් තියෙන්නේ වයස්ගත කාන්තාවන් කිහිපදෙනෙක් අතේයි. සමහර විට ඒ අයගෙන් පස්සේ පේෂ කර්මාන්තයක් ලංකාවේ නැත්තටම නැතිවෙයි කියලයි අපිට හිතෙන්නේ. ඒ තරමටම මේ කර්මාන්තය නරක තැනකයි තියෙන්නේ. අපිට උරුමවුණු මේ කර්මාන්තය ඉදිරි පරම්පරාව සඳහා අපි රැකිය යුතුයි. අලුත් පරම්පරාවක් අතරට පේෂකර්මාන්තයේ ගෙන යායුතුම කාලය මේ කාලයයි.
කේ. ඩී. නන්දාවතී: අපේ පේෂ කර්මාන්තය හොඳට දියුණු කරන්න පුළුවන් කර්මාන්තයක්. අපි නිෂ්පාදනය කරන රෙදි කෑල්ලට ලැබෙන ගාන හොඳටම මදි. ගාන වැඩි කරනවනම් මීට වඩා කාන්තාවන් මේ සඳහා ඒවි. මහන්සි වෙන තරමට ආදායමක් නැහැ.
අත් යන්ත්‍ර හා පේෂ කර්මාන්තය කාන්තාවකට සුදුසුම කර්මාන්තයක්. අවාසනාවකට අපේ රටේ කාන්තාවන් ඒක තේරුම් ගන්නේ නැති එක මහා දුකක්. අපිට වඩා දියුණු ඉන්දියාවේ කාන්තාවන්ගේ වැඩි හරියක්ම කරන්නේ රෙදි නිෂ්පාදනය කරන එක. අපි කරන්නේ දේශීය කර්මාන්තයක්. මෙතන විශාල ගැටලුවක් තියෙනවා මේ වීවින් කියන නම එක්ක.
ටී. ඩී. කුසුමාවතී: අපි වැඩ කරන තැන තව දහයකට දොළහකට විතර වැඩ තියෙනවා. එහෙත් කාන්තාවන් එන්නේ නැහැ. අපේ පරම්පරාව ඉවරවෙනවත් එක්කම අපි පොළවට පස් වෙනවත් එක්කම මේ කර්මාන්තයත් පොළවට පස් වෙලා යාවී. නිවසේ ඉදලා කරන්න පුළුවන් කර්මාන්තයක්. අපේ ගම්මානවල තියෙන රැකියා වියුක්තියට මේක හොඳ විසඳුමක් වේවි. ඒත් ඉතිං කවුරුත් ඒ සඳහා ඉදිරිපත් වෙන්නේ නැහැ. රටක් දියුණු කරනවා කියන්නේ රටේ තියෙන දේශීය කර්මාන්ත එහේම පිටින්ම වළ දාලා පිටරටින්ම බඩු ගේන එක නෙමෙයි. රටේ නිෂ්පාදනය වැඩි කරන්න ඕන.
ඒ. ජී. පුණයවතී: දැනට මේ කර්මාන්තයේ නියැලිලා ඉන්නේ හැට පැනපු අයයි. මේ කර්මාන්තය ඉදිරියට ගෙන යාමට නම් තරුණ පරපුරගේ සේවය අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. අපි නිෂ්පාදනය කරන රෙදි පිළි ඇඟට පතට කිසි අගුණයක් නැහැ. පරිසරයට හානියකුත් නැහැ. එහෙම රෙදි පිළිබඳව ලෝකයට හොඳ ප්‍රචාරයක් යනවා නම් අපේ අත් යන්ත්‍ර පේෂ කර්මාන්තයට හොඳ කලක් යාවි. අනෙක අපේ රෙදි අපනයනය කරන්න හැකි මට්ටමක තියෙනවා. මේ සම්බන්ධයෙන් විදෙස් රටවල අවධානය ගන්නවා නම් මේ කර්මාන්තයේ හෙට දිනය සුබවේවි. නැත්නම් මේ කර්මාන්තයත් අනෙක් දේශීය කර්මාන්ත වගේම වැළලිලා යාවි.
පත්වෙන ආණ්ඩු කරන්න ඕන තමන්ගේ දේශීය කර්මාන්ත නගා සිටුවීමේ වැඩපිළිවෙළක් සෑදිමයි. එහෙම එකක් කෙරෙන පාටක්නම් නැහැ.
කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී අජිත් කුමාර: අපේ ගමේ වැඩකට නොගෙන තිබූ ප්‍රජා ශාලාවේ මම මැදිහත් වෙලා අත් යන්ත්‍ර පේශ කර්ම වැඩපොළක් ආරම්භ කළා. දැන් එහි ගමේ කාන්තාවන් කිහිපදෙනෙක්ම රැකියාව කරනවා. මම කියන්නේ ලංකාවේ හැම ගමක හෝ ගම්මාන දෙක තුනකම වැහිච්ච පාසල් තියෙනවා. ඒවා කිසිදු වැඩකට නොගෙන විනාශ වෙවී යනවා. ඒ වාගේම තමයි ප්‍රජා ශාලාත් තියෙනවා. මේ පොදු ස්ථානවල අත් යන්ත්‍ර හා පේෂ කර්ම වැඩපොළවල් දැම්මොත් එයින් මේ රැකියා වියුක්තියට යම් සහනයක් වේවි.
මේ රට ගොඩ ගන්න නම් කර්මාන්ත වැඩි දියුණු කරන්න ඕන. වැටිච්ච දේශීය කර්මාන්තත් උස්සලා තියන්න ඕන. එහෙම නැතිව පිටරටට දත නියවගෙන ඉඳලා හරියන්නේ නැහැ. අපට පහළවිය යුත්තේ කටින් බතල සිටුවන නායකයන් නොවේ. ආදර්ශයෙන් රට ගොඩ ගන්න පුළුවන් නායකයොයි.