හම්බන්තොට වරායේ සියයට 35ක සජීවී කොරල්පර සමුද්‍ර තිරසාරත්වයට ආදර්ශයක්



සියලු‍ කාර්මික යටිතල පහසුකම් වලින් සමන්විත වරායකට ලැබිය හැකි ජයග්‍රහණවලට නව අරුතක් ලබා දෙමින්, හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP), මේ වනවිටත් සමෘද්ධිමත් සාගර පරිසර පද්ධතියක් සහ පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගතව සිටී. මෑතකදී ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය (OCUSL) විසින් HIP හි දියකඩනය ආශ්‍රිතව සිදුකරන ලද කොරල්පර අධ්‍යයනයකින් අනාවරණය වී ඇත්තේ එහි ඇති විසිතුරු කොරල්පර සියයට 35ක් පමණ සජීවී බවයි. හම්බන්තොට ජාත්‍යන්තර වරාය, ශ්‍රී ලංකාවේ ඉතා ප්‍රබෝධමත් කෘත්‍රිම සජීවී කොරල් පද්ධතිවලින් එකක් බව මෙයින් සනාථ වෙයි. 

OCUSL හි සාගර විද්‍යා සහ ධීවර පීඨයේ මහාචාර්යවරයකු වන විද්‍යාඥ එම්.එෆ්.එම්. ෆයිරෝස් මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම, වරායේ අධි ආරක්ෂිත, කැළඹිලි අඩු කලාපය තුළ වර්ධනය වී ඇති අර්ධ කෘතිම කොරල්පර පද්ධතිය අධ්‍යයනය කළේය. දියකඩනයේ ස්ථායී උපස්ථරය මත සාර්ථකව කොරල්වැටි රඳාසිටීමට මෙම සුවිශේෂී වටාපිටාව හේතු වී ඇත.

‘‘එය ජීවමාන රසායනාගාරයක් වගේ”‍ යැයි ආචාර්ය ෆයිරෝස් මහතා පවසයි. ‘‘ස්වාභාවික වෙරළබඩ ප්‍රදේශවල දක්නට ඇති බොහෝ පීඩක මෙම පද්ධතිය ආරක්ෂා වී තිබෙනවා පමණක් නොවෙයි, මසුන් ඇල්ලීමෙන් තොර, අපවිත්‍රවීම අවම, වාතාවරණය නිසා, සෞඛ්‍ය සම්පන්න වර්ග සමතුලිතභාවයකින් යුක්තයි. කොරල් ආවරණය සියයට 35 ක්ම සජීවී වීම පරිසර පද්ධතියේ ප්‍රත්‍යස්ථිතිය සහ සෞඛ්‍යයේ විශිෂ්ටත්වයට සාක්ෂියක්.”‍ 

ශ්‍රී ලංකාවේ අනෙකුත් වෙරළාශ්‍රිත කොරල්වැටි සමග සංසන්දනය කළ විට, අධික මසුන් ඇල්ලීම සහ දේශගුණික වෙනස්වීම් හේතුවෙන් ඒවායේ සජීවී කොරල් ආවරණය සියයට 20 දක්වා පහත වැටී ඇත. ඊට සාපේක්ෂව, HIP හි ආරක්ෂිත කොරල් පද්ධතිය, කොරල් ප්‍රතිජනනය සහ ජෛව විවිධත්වය සඳහා කදිම උදාහරණයකි.

කොළඹ වරාය නගරයේ කොරල්පර ආරක්ෂණ ව්‍යාපෘතිය හැරුනු විට, හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) දියකඩනයේ පිහිටා ඇති කොරල්වැටිය දැන් ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම කොරල්පර ආරක්ෂණ ව්‍යාපෘතිය බවට පත්ව ඇත. ඉතා අඩු කෘත්‍රිම මැදිහත්වීමකින්, ස්වභාවිකව සමෘද්ධිමත් කොරල් පද්ධතියක් ලෙස පරිණාමය වීම HIP කොරල් ව්‍යාපෘතියේ කැපී පෙනෙන ලක්ෂණයකි. රළු, මෘදු, හා ස්පොන්ජ් (Sponge) වැනි කොරල්පර විශේෂ කිහිපයක්, සහ කොරල් ආශ්‍රිත මත්ස්‍ය වර්ග 20 කට වඩා වැඩි විවිධ සාගර ජීවීන් එහි ඇති බව පර්යේෂකයන් වාර්තා කර ඇත. 

ආචාර්ය ෆයිරෝස් සහ ඔහුගේ කණ්ඩායම, දියකඩනය වැනි කෘතිම උපස්ථර කොරල් ජනාවාස හා වර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා උපරිම කරන්නේ කෙසේද යන්න අධ්‍යයනය කරමින් සිටී. ‘‘මෙම පද්ධතිය තුළ බලශක්ති ප්‍රවාහය තේරුම් ගැනීම සඳහා උසස් පාරිසරික ආකෘති අපි භාවිත කරනවා. එමෙන්ම ගෝලීය මට්ටමින් අනාගත සමුද්‍ර යටිතල ව්‍යාපෘති සඳහා සැලසුම් මූලධර්ම හඳුනා ගැනීමටද කටයුතු කරමින් සිටිනවා”‍ යැයි ඔහු පැවසීය.

මෙම අධ්‍යයනය, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) පුළුල් පාරිසරික, සමාජ සහ පාලන (ESG) උපායමාර්ගික රාමුවට අනුකූල වේ. වරාය සමූහය විද්‍යාත්මක පර්යේෂණ තම දිගුකාලීන තිරසාරතා සැලැස්මට සෘජුවම ඒකාබද්ධ කරයි. මෙම කැපවීම, ‘ජලයෙන් පහළ ජීවිතය’ යනු එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක අංක 14 ට සහාය දක්වයි.