හතරවැනි ගනුදෙනු දිනයටත් වෙළෙඳපොළ පසුබැසීමක


රට තුළ පවතින ආර්ථික හා සමාජයීය ප්‍රවණතා ආයෝජන අංශවල අවධානයට ගැනී තිබේ. අයවැය විවාදය එහි එක පැත්තකි. අනෙක් පාර්ශවයෙන් ආණ්ඩුව තීරණ ගන්නා ආකාරය ගැන ප්‍රශ්න කෙරෙමින් තිබේ. ත්‍රිකුණාමලය සිද්ධිය සම්බන්ධ පසුබිම කෙසේවෙතත් පොලිසිය හා අදාළ බලධාරීන් ගත් ක්‍රියාමාර්ග හේතු කරගෙන ආණ්ඩුවේ ජනප්‍රියත්වයට බලපෑමක් එල්ල වී ඇත. 
කොළඹ කොටස් වෙළෙඳ ගනුදෙනුවල දී විශ්වාසනීයත්වය හා ඉතාම වැදගත් වන අතර ආයෝජකයන් ස්වකීය මුදල් යෙදවීමේදී ආණ්ඩුවේ හැසිරීම අනුව ඇති විය හැකි තත්ව ගැන පරීක්ෂාකාරී වන  බව අමතක කළ යුතු නැත. ඉකුත් සිකුරාදා සිට ඊයේ (නොවැ. 18)  දක්වා දින හතරක් වෙළෙඳපොළ දර්ශක අඛණ්ඩ පසුබැසීමක් වාර්තා කර තිබේ. සියලු කොටස් මිල දර්ශකය ඒකක 400 කින් පමණ පහත වැටී ඇත. විදේශ විකිණීම් ද ඒ අතර තිබේ. කෙසේ වෙතත් මෙම පසුබෑම සමග අඩු වී ඇති මිල ගණන් අනුව කොටස් මිල දී ගැනීමේ ප්‍රවණතාවක් ද නිර්මාණයවීමට ඉඩ ඇති බව බැහැර කළ නොහැකි කොන්දේසියකි.
වාණිජ බැංකු ලාභ ඉහළම මටට්මක පවතින එයට මූල්‍ය සමාගම් ද එකතු වී සිටී. එයට අමතරව රක්ෂණ, වැවිලි, සන්නිවේදන, ප්‍රවාහන අංශය, සංචාරක හා ආනයනවලට අනුබද්ධ ආයතනවල මුල්‍ය වාර්තා එම සමාගම්වල හොඳ ප්‍රගතියක් දක්වයි. මෙවැනි පසුබිමක් තුළ ස්ථාවරභාවයකට පසුබිමක් පවතින බව ආයෝජන උපදේශක වාර්තා අනාවරණය කරමින් සිටී. පවතින පසුබිම සලකා ඇති කරන හදිසි තැතිගැනීම් හේතුකරගෙන ඇතැම් පිරිස් කරන විකිණීම් වෙළෙඳපොළ දර්ශකවලට පීඩනයක් එල්ලකර ඇති බව දැක්වේ. ඊයේ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 23,051.66ක් තෙක් පහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 172.02ක  පසුබැසීමකි. එස්.ඇන්ඩී.පී. ශ්‍රී ලංකා දර්ශකය 6,374.83 ක් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 35.17 ක පහළ යාමකි. දෛනික පිරිවැටුම රුපියල් බිලියන 4.45 කි. ගනුදෙනු  35,417 ක් වාර්තා වී තිබේ. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 137.8 ක් විය. සමාගම් 68 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 192 කි. සැලකිය යුතු කාලයකට මිල දී ගැනීමේ උනන්දුව සියයට 42.2 තෙක් දුර්වල වී තිබුණි.
නිරීක්ෂක