සෙන්තිල්වර්ල් හෝල්ඩිංග්ස් අමානා තකාෆුල් අත්හරී


භානුක අමරසිංහ


මෙරට ප්‍රමුඛතම ආයෝජකයකු වන වෛද්‍ය ටී සෙන්තිල්වර්ල් මහතාට අයත් සෙන්තිල්වර්ල් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම සතුව තිබූ අමානා තකාෆුල් පීඑල්සී රක්ෂණ සමාගමේ සියලු‍ කොටස් අලෙවි කර ඇතැයි වාර්තා වෙයි. එම සමාගම අමානා තකාෆුල් පීඑල්සීහි තනි වැඩිම කොටස් හිමිකරුවාද විය. පසුගිය ඔක්තෝබර් 30 වැනිදා මෙම ගනුදෙනුව සිදුව තිබේ. 
ඒ අනුව මෙහිදී කොටස් 44,119,687ක් අලෙවි කර ඇති අතර, එය අමානා තකාෆුල් පීඑල්සී සමාගම නිකුත් කර ඇති සමස්ත කොටස් අතරින් සියයට 21.67 කි. මෙහිදී කොටසක් රුපියල් 27ත් 32ත් අතර මුදලකට ගනුදෙනුව සිදුව තිබේ. ඒ අනුව සමස්ත ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියන 1.3 කට අධිකය.
 මෙහිදී වෙළෙඳපොළ මගින් සියයට 14.30ක කොටසක් මිලදී ගෙන ඇති අතර, ඉතිරි කොටස් අතරින් සියයට 4.91ක් Phantom Investments (පෞද්) සමාගමත්, අනෙක් සියයට 2.46 ක කොටස Arrc Capital (පෞද්) සමාගමත් මගින් මිලදී ගෙන තිබේ. 2024 දෙසැම්බර් මාසය අවසන් වනවිට සෙන්තිල්වර්ල් හෝල්ඩිංග්ස් සතුව අමානා තකාෆුල් පීඑල්සී සමාගමේ සියයට 25.50ක හිමිකාරීත්වයක් පැවතුණි.