සුළි කුණාටුවෙන් තේ කර්මාන්තයට වූ හානිය පැහැදිලි වෙන්නේ ජනවාරියේදී


  • තේ නිෂ්පාදනයට සියයට 5ත් සියයට 7ත් අතර බලපෑමක්
  • 2024 ට වඩා 2025 දී තේ කිලෝ මිලියන 5කට වැඩි නිෂ්පාදනයක් බලාපොරොත්තුවයි

භානුක අමරසිංහ
මෙරට වෙත බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් තේ කර්මාන්තයට සිදුව ඇති හානිය සැලකිය යුතු මට්ටමකින් අඩු බවත්, මේ හේතුවෙන් තේ නිෂ්පාදනයට සිදුව ඇති බලපෑම පැහැදිලිව වටහා ගැනීම ජනවාරි මාසයේ තේ වෙන්දේසියට පැමිණෙන තේ ප්‍රමාණය අනුව තීරණය කළ හැකි වනු ඇති බවත් කොළඹ තේ අලෙවිකරුවන්ගේ සංගමය (CTTA) සඳහන් කරයි.
ලංකාදීප FT කළ විමසීමකට පිළිතුරු දෙමින් එම සංගමයේ සභාපති ලු‍ෂාන්ත ද සිල්වා මහතා මෙම අදහස් පළ කළේය. විශේෂයෙන්ම මෙම දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ වර්ෂාවෙන් හට ගත් නාය යෑම් හේතුවෙන් තේ වතු කිහිපයක් වෙත හානි සිදුව ඇති නමුත් එය තේ නිෂ්පාදනයට එතරම් බරපතළ නොවන බව ඒ මහතා සඳහන් කළේය. ගැටලු‍ව වී ඇත්තේ තේ වතු සහ කර්මාන්තශාලා වෙත දිවෙන මාර්ග පද්ධතියට සිදුව ඇති හානිය බවත් ඒ මහතා පවසා සිටියේය. 
“කොහොම වුණත් තේ නිෂ්පාදනයේ සියයට 5ක සියයට 7ක වගේ අඩුවීමක් අපි අපේක්ෂා කරනවා. එය පැහැදිලිවම බලාගන්න වෙන්නේ ලබන ජනවාරි මාසයේදී තේ වෙන්දේසියට පැමිණෙන තේ ප්‍රමාණය අනුවයි.“
මේ අතර කැලණි ගඟ ආශ්‍රිතව අඹතලේ ප්‍රදේශයේ ක්‍රියාත්මක තේ නිෂ්පාදන කර්මාන්තශාලා 30 ක් පමණ ගංවතුරේ බලපෑමට ලක්ව තිබෙන බවත්, එම කර්මාන්තශාලා මෙරට තේ අපනයන ආදායමෙන් සියයට 25ත් සියයට 30ත් අතර ප්‍රතිශතයකට දායක වන බවත් සභාපතිවරයා පැවසුවේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා දිට්වා බලපෑමෙන් දෙසැම්බර් 01/02 පැවැත්වීමට නියමිතව තිබූ තේ වෙන්දේසිය අත්හැර දැමුවද, වසරකට සිදු කරන තේ වෙන්දේසි 50 සම්පූර්ණ කිරීමට කටයුතු යොදන බවත් පැවසුවේය. 
‘‘මේ අවුරුද්දේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා තේ නිෂ්පාදනය කිලෝ මිලියන 220 කට (220,972,295) අධිකයි. එය 2024 එම කාලසීමාවේදී වාර්තා වුණු තේ නිෂ්පාදනයට සාපේක්ෂව කිලෝ මිලියන 3කට (3,318,755) අධිකයි. ඒ අනුව මේ අවුරුද්ද තුළදී අපි පෙර වසරට සාපේක්ෂව තේ කිලෝ මිලියන 5ක වැඩි නිෂ්පාදනයක් බලාපොරොත්තුව සිටිනවා. ඒ වගේම 2025 තේ නිෂ්පාදනය දැනටමත් 2023 තේ නිෂ්පාදනය ඉක්මවා ගොස් තිබෙනවා.“ සභාපති ලු‍ෂාන්ත ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.