සියෙරා කේබල්ස් ආදායම රුපියල් බිලියන 16 ඉක්මවයි


ප්‍රධාන විධායක නිලධාරී හර්ෂ ජයතුංග


 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කේබල් නිෂ්පාදකයා සහ LOLC සමූහයේ සාමාජිකයෙකු වන සියෙරා කේබල්ස් පීඑල්සී, 2026 මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා වාර්තාගත මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින් ආදායම සහ ලාභදායීතාව යන දෙඅංශයේම කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇත. 
සමාගම රුපියල් බිලියන 16කට අධික ආදායමක් වාර්තා කර ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව සියයට 73ක වර්ධනයකි. එසේම ශුද්ධ ලාභය රුපියල් බිලියන 2.7 දක්වා ඉහළ ගොස් සියයට 194ක වාර්ෂික වර්ධනයක් වාර්තා කර ඇත. මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 3 ඉක්මවා ඇති අතර, කොටසකට ලාභය (EPS) රුපියල් 4.95 දක්වා වර්ධනය වී ඇත.
මෙම සාර්ථකත්වය සඳහා ශක්තිමත් වෙළෙඳපොළ ඉල්ලු‍ම, නිෂ්පාදන කාර්යක්ෂමතාව ඉහළ යාම, නිෂ්පාදන ධාරිතාව උපරිම ලෙස භාවිත කිරීම, අපනයන ආදායම වර්ධනය වීම සහ නවෝත්පාදන හා ගුණාත්මකභාවය සඳහා සිදුකළ අඛණ්ඩ ආයෝජන ප්‍රධාන වශයෙන් දායක වී ඇත. බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මෙන්ට්ස් සමඟ ඇති කරගත් උපායමාර්ගික සම්බන්ධතාවයෙන් අනතුරුව සමාගම සිය පාලන ව්‍යුහය, මෙහෙයුම් හැකියාවන් සහ ජාත්‍යන්තර තරඟකාරීත්වය තවදුරටත් ශක්තිමත් කරගෙන ඇත.
ගිනි ප්‍රතිරෝධී සහ ගිනි ප්‍රමාදක කේබල් විසඳුම් සඳහා වැඩිවෙමින් පවතින ඉල්ලු‍මට ප්‍රතිචාර දක්වමින්, සියෙරා කේබල්ස් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ඉහළ කාර්යසාධනයක් සහිත නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දී ඇත. සමාගම ශ්‍රී ලංකාවේ UL 44 සහ UL 854 යන ජාත්‍යන්තර සහතික දෙකම හිමි එකම කේබල් නිෂ්පාදකයා වන අතර, එමඟින් ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු ඉහළ ප්‍රමිතීන් සහිත වෙළෙඳපොළ වෙත සාර්ථකව අපනයනය කිරීමට සමත් වී ඇත. 2025/26 මූල්‍ය වර්ෂය තුළ අපනයන ආදායම සියයට 345කින් වර්ධනය වී රුපියල් බිලියන 5 දක්වා ඉහළ ගොස් ඇති අතර, සමස්ත ආදායමෙන් සියයට 31ක් අපනයන මගින් හිමි වී ඇත.