සාමාන්‍ය පරිදි බිස්නස් කෙරීගෙන යනවා


ප්‍රධාන වීදියේ Times Decor හි වෙළෙඳ සහයක 
එම්.යූ.එම්. ඉෂාම්


පිටකොටුව යනු රෙදි පිළි, විදුලි භාණ්ඩ, ආහාර නිෂ්පාදන, ගෘහ භාණ්ඩ වැනි වූ ඕනෑම වර්ගයේ භාණ්ඩයක් මිලදී ගැනීමට හැකි ශ්‍රී ලංකාවේ විශාලතම වෙළෙඳ සංකීර්ණයයි. දෛනිකව දස දහස් ගණනින් පාරිභෝගිකයන් හා වෙළෙඳුන් පිටකොටුවේ දැකගත හැකිය. මේ දිනවල පිටකොටුව වෙළෙඳ නගරයේ වෙළෙඳාමේ තතු සොයා බැලීමට ගිය ගමනේදී අප ගොඩවැදුනේ ප්‍රධාන වීදියේ පිහිටා ඇති Times Decor වෙළෙඳ ආයතනය වෙතටයි. එහි වෙළෙඳ සහයක එම්. යූ. එම්. ඉෂාම් මහතා මේ දිනවල බිස්නස් පිළිබඳව පැවසුවේ මෙවන් අදහසකි. 


මේ දිනවල බිස්නස් කොහොමද?
අපි විකුණන්නේ තිරරෙදි. අපේ වෙළෙඳසලෙන් නිවසට සහ කාර්යාලයට සහ ඕනෑම ස්ථානයටකට අවශ්‍ය කරන සියලු‍ම වර්ගයේ තිර රෙදි මිලදී ගන්න පුළුවන්. මේ දිනවල බිස්නස් ගැන කතා කරනවා නම් බිස්නස්වල අඩුවක් නෑ, සාමාන්‍ය පරිදි බිස්නස් කෙරීගෙන යනවා. පසුගිය දීපාවලී උත්සව සමයෙහි බිස්නස් හොඳට තිබුණා. සමහර වෙළෙඳුන් බිස්නස් නෑ කියල කිවුවට එහෙම තත්වයක් නෑ. බිස්නස් තියනවා.


බිස්නස් මේ තත්වයට පත්වීමට බලපෑ හේතු මොනවාද ? 
වසර 13 ක් වෙනවා මේ ව්‍යාපරය ආරම්භ කරලා. අපේ ආයතනයේ සේවකයන් 30 ක් පමණ සේවය කරනවා. බිස්නස් සාමාන්‍ය පරිදි කෙරීගෙන යාමට බලාපන එක හේතුවක් තමයි තිර රෙදි පහසු මිලට පාරිභෝගිකයන්ට මිලදී ගන්න පුළුවන්වීම. විවිධ මිල ගණන් යටතේ තිර රෙදි මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට හැකියාවක් පවතිනවා. එය පාරිභෝගිකයන්ට පහසුවක් මෙන්ම බිස්නස් වැඩිවීමටද හේතුවක් වෙනවා. 
ඒවගේම විවිධ මාදිලිවලින් තෝරා ගන්න විශාල එකතුවක් අපි ළඟ තියනවා. ඒකත් හේතුවක් බිස්නස් වැඩි වෙන්න. ඒවගේම දෙසැම්බර් මාසයේ සීසන් එකට අපි අලු‍තින් තිර රෙදි ආනයනය කරන්න බලාපොරොත්තු වෙනවා. සීසන් එකත් එක්ක බිස්නස් සරුවෙයි කියලත් හිතෙනවා.


දිලිනි උදේශිකා
ඡායාරූප-ඉසුරු පෙරේරා