භානුක අමරසිංහ
ස්විස්ටර්ලන්තයේ Edelweiss ගුවන් සේවය ශ්‍රී ලංකාව වෙත සිදු කරන සිය ශීත ඍතු ගුවන් ගමන් ආරම්භ කරමින් ඊයේ (28) දිනයේ දී සූරිච් නුවර සිට කොළඹ දක්වා පළමු ගුවන් පියාසැරිය සිදු කළේය. මෙහිදී මගීන් 280 දෙනකු රැගත් Edelweiss ගුවන් යානය කොළඹ බණ්ඩාරනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර, යානය සහ එහි මගීන් උණුසුම් ලෙස පිළිගැනුණි.
මෙම Edelweiss ගුවන් සේවය ඊයේ දිනයේ සිට සතියකට දෙවතාවක් කොළඹ සහ සූරිච් අතර ගුවන් ගමන් සිදු කිරීමට නියමිතව තිබේ. ඒ අනුව මෙම ශීත ඍතු සමය යටතේ ඔක්තෝබර් මාසයේ සිට ලබන වසරේ මැයි දක්වා ඍජු ගුවන් ගමන් 16ක් සිදු කිරීමට Edelweiss ගුවන් සේවය සූදානමින් සිටින බව පැවසෙයි. මේ හරහා වැඩි ස්විස්ටර්ලන්ත සංචාරකයන් පිරිසක් මෙරටට රැගෙන ඒම අරමුණ වී තිබේ. 2025 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ මෙරට වෙත ස්විස්ටර්ලන්තයෙන් සංචාරකයන් 24,832 දෙනකු පැමිණ තිබේ. එසේම 2024 වසරේ මාස 12 තුළදී ස්විස්ටර්ලන්තයෙන් පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 29,829කි.

