ස්ථාවර වර්ධනයකට පාරම්පරික ව්‍යුහාත්මක ගැටලු‍ නිරාකරණය අවශ්‍යයි - මහ බැංකු අධිපති


අඩු පොලී අනුපාත ව්‍යාපාර සැලසුම් සහ ආයෝජන සඳහා හිතකරයි 
2028 දී විදෙස් ණය ආපසු ගෙවීමට රජයට හැකියාව ඇතැයි පවසයි 
IMF වැඩසටහන මෙම වසරේදීත් ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා 
භූගෝලීය දේශපාන තත්ව සහ කෘත්‍රිම බුද්ධියේ වර්ධනය අවධානයට 
භානුක අමරසිංහ 
ශ්‍රී ලංකාව තවදුරටත් වඩා ඉහළ සහ තිරසාර වර්ධනයක් අත්පත් කරගැනීමට නම් පාරම්පරික ව්‍යුහාත්මක ගැටලු‍ නිරාකරණය කරගැනීම අතිශය වැදගත් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. 
 “Sri Lanka : The Way Forward නමින් පසුගියදා කොළඹදී පැවැත්වුණු ශ්‍රී ලංකා - ජර්මානු ව්‍යාපාර කවුන්සිලයේ හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මෙම කරුණු සඳහන් කර තිබේ. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ආචාර්ය ෆෙලික්ස් නියුමාන් මහතාද එක්ව සිට ඇත. 
 “වඩත් ශක්තිමත් ප්‍රතිපත්ති ක්‍රියාරාමුව සහ දියුණු වූ ආර්ථික මූලධර්මවල සහයෝගයත් සමගින් ආර්ථික ස්ථායීකරණයේ වර්තමාන ගමන් මාර්ගය එලෙසින්ම ඉදිරියටත් ක්‍රියාත්මක වේවි. කෙසේ වෙතත් වඩා ඉහළ සහ තිරසාර වර්ධනයක් සඳහා පාරම්පරික ව්‍යුහාත්මක ගැටලු‍ නිරාකරණය කර ගැනීම අවශ්‍යයි.”
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති මහ බැංකු අධිපතිවරයා, 2028 වසරේ සිට ශ්‍රී ලංකාව විදේශ ණය ආපසු ගෙවීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් බියක් ඇති කරගත යුතු නැති බවත්, ශ්‍රී ලංකා රජය දැනටමත් එම තත්වය වෙත මුහුණ දීම සඳහා ස්වාරක්ෂයක් ගොඩනගා ඇති බවත් අවධාරණය කළේය. 
 “ශ්‍රී ලංකාවේ විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණයට ජර්මානු රජය ලබාදුන් සහාය සම්බන්ධයෙන් අපි ස්තූතිවන්ත වෙනවා. ඒ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගම සම්බන්ධ ණය ප්‍රතිව්‍යුහගතකරණයට සහාය ලබාදීම ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව ණය පිළිබඳ ප්‍රතිරූපය ඉහළ නැංවීමට හේතුවක් වී තිබෙනවා.”
මේ අතර වර්තමානයේදී රට තුළ පවතින අඩු පොලී අනුපාත ව්‍යාපාර සැලසුම්කරණයට සහ ආයෝජන සඳහා වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කර තිබෙන බවද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසා තිබේ. 

 

මේ අතර ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ඒ මහතා, ඒ යටතේ වන පස්වැනි විවරණය, පසු වැඩසටහන් ඇස්තමේන්තුව හේතුවෙන් පමා වී තිබෙන බවත්, මෙම වසර තුළදී එම වැඩසටහන ඉදිරියටත් ක්‍රියාත්මක වනු ඇති බවට තමන් විශ්වාස කරන බවත් සඳහන් කර තිබේ. 
 “අද වනවිට විදේශ මුදල් ගලා ඒම්ද ඉතාමත් හොඳ මට්ටමේ පවතිනවා. ඒ අතරින් පුහුණු ශ්‍රමිකයන්ගෙන් ලැබෙන විදේශ මුදල් මෙන්ම නිදහස් වෘත්තිකයන්ගේ (freelancers) ආදායම් ඉපැයීම්ද වාර්තාගත ලෙස වර්ධනය වී තිබෙනවා. කෙසේ වෙතත් දැනට පවතින භූගෝලීය අස්ථාවරත්වය සහ නැගී එන බාධාවක් වන කෘත්‍රිම බුද්ධියේ දියුණුව වෙත අවධානය යොමු කළ යුතුයි. එහිදී රජය මෙන්ම පෞද්ගලික අංශයත් තවදුරටත් තරගකාරීව සිටීම සඳහා ඒවා වෙත අනුවර්තනය විය යුතු වෙනවා.” අධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.