ස්ථාවර වර්ධනයකට අවස්ථාව බව තහවුරු කිරීම


කොටස් මිල වර්ධනයක් ඊයේ (ඔක් 29) ගනුදෙනුවල දී සටහන් වූ අතර හුවමාරු වූ කොටස් ප්‍රමාණය පසුගිය සතියේ සාමාන්‍යයට වඩා අඩු බවක් නිරීක්ෂණය කළ හැකි විය. ගනුදෙනු ප්‍රමාණය ඉහළ නමුත් හුවමාරු වූ කොටස් ප්‍රමාණය අනුස සලකන පසු ආයෝජන අංශ සම්පූර්ණ විශ්වාසයකින් යුහුසුළු වී ඇති බවක් දක්වන්නේ නැත. කෙසේ වෙතත් සිතාබලමින් සිටින ආයෝජකයන් ඉදිරරිදිනවල දී වඩාත් සක්‍රීය තත්වයකට පත්වනු ඇති බවක් අපේක්ෂා කළ හැකිය. සැක සහිත තත්ව යටතේ වහා කොටස් විකුණා අවදානමකින් ඉවත්වන ආකාරයක ගනුදෙනු වාර්තා නොවීම ද විශේෂත්වයකි.
ගනුදෙනු ආරම්භයේ සිට වෙළෙඳපොළ වර්ධනයක් වාර්තා වූ අතර පසුව යම් ස්ථාවර තැනකට පැමිණියේය. අඩු මිල ගණන්වලට ඇතැම් සමාගම්වල කොටස් මිල දී ගැනීම සඳහා උපායශීලී ගනුදෙනුකරුවන් පෙළඹවීමක නිරත වූ නමුත් එය එපමණ සාර්ථක වූයේ නැත. 
දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,777.12 ක් දක්වා ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 87.90 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,210.63 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 7.54 ක ඉහළයාමක් සේ වාර්තා වේ. දෛනික පිරිවැටුම රු. බිලියන 5.38 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 40,671 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 174.24 ක් විය. සමාගම් 170 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 86 කි. විදේශ මිල දී ගැනීම් රු. මිලියන 52.8 කි. විකිණීම් රු. මිලියන 425.4 ක් වේ. රටින් බැහැර වූ ප්‍රමාණය රු. මිලියන 373.5 ක් තරම් ඉහළ අගයක් බව දැක්වේ. 
වින්ෆීල්ඞ් රු. මිලියන 407 ක්, ජොක්යාඞ් රු. මිලියන 286 ක්, ලාෆ් ගෑස් රු. මිලියන 247 ක්, සියෙරා කේබල් රු. මිලියන 235 ක්, ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන් රු. මිලියන 213 ක්, ජෝන් කීල්ස් රු. මිලියන 165 ක්, විදුලංකා එන් රු. මිලියන 148 ක්, ලංකා ඉන්දියන් ඔයිල් රු. මිලියන 137 ක්, සම්පත් බැංකුව රු. මිලියන 127 ක්, ලංකා පෑන් ඒෂියා බැංකුව රු. මිලියන 111 ක්, ඇම්බියන් කැපිටල් රු. මිලියන 110 ක්, කලම්බු ලෑන්ඞ් රු. මිලියන 103 ක්, සන්ෂයින් හෝල්ඩිං රු. මිලියන 93 ක් සහ ජෝන් කීල්ස් රු. මිලියන 93 ක් වශයෙන් වැඩිම පිරිවැටුමක ක්‍රියාකාරීත්වයක් දැක්විය. 
නිරීක්ෂක