ස්ථාවර දුරකතන ග්‍රාහකයෝ තවදුරටත් පහළ ගිහින්


  • වසර 10කදී ග්‍රාහකයන් 588‍,000 කින් අඩුවෙලා

පසුගිය 2024 වසර වනවිට මෙරට ස්ථාවර දුරකතන සබඳතා ග්‍රාහකයන් සංඛ්‍යාව 2,122,000 ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2023 වසරේදී පැවැති ග්‍රාහකයන් 2,308,000 හා සැසඳීමේදී ග්‍රාහකයන් 186,000 ක අඩු වීමකි. එසේම මෙය පෙර වසරට සාපේක්ෂව ග්‍රාහක වර්ධන අනුපාතයේ සියයට -8.1ක පසුබැසීමක් ලෙසත් සටහන්ව තිබේ. 

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් නිකුත් කළ දත්ත වාර්තාවල මේ බව සඳහන්ව තිබේ. ඒ අනුව මේ අතරින් 2024 වන විට රැහැන් සහිත සේවා සංඛ්‍යාව 1,075,000ක් වන අතර, රැහැන් රහිත සේවා සංඛ්‍යාව 1,046,000 ක් ලෙස සටහන්ව තිබේ. 

මේ අතර 2024 වසර වනවිට දුරකතන ඝනත්වය හෙවත් පුද්ගලයන් 100 දෙනකු සඳහා පවතින රැහැන් සහිත සහ රහිත ස්ථාවර දුරකතන සංඛ්‍යාව 9.7 කි. 2023 වසරේදී මෙය 10.5 ක් විය.

දැනට වසර 10කට පෙරාතුව, එනම් 2014 වසරේදී මෙරට සමස්ත ස්ථාවර දුරකතන සේවා ග්‍රාහකයන් සංඛ්‍යාව 2,710,000ක් විය. එහිදී රැහැන් සහිත සේවා සංඛ්‍යාව 1,123,000ක් වූ අතර, රැහැන් රහිත සේවා සංඛ්‍යාව 1,587,000ක් විය. ඒ අනුව වසර 10කදී ස්ථාවර දුරකතන ග්‍රාහකයන් 588,000 කින් පහත වැටී තිබේ. එසේම 2014 මෙරට පුද්ගලයන් 100 දෙනකුට පැවැති දුරකතන සංඛ්‍යාව 13ක් ලෙස සටහන්ව තිබේ.