ශ‍්‍රී ලංකාවේ තේ කර්මාන්තය ශක්තිමත් කිරීමට NDB බැංකුවේ දායකත්වය


තේ නිෂ්පාදකයන් වෙනුවෙන් මූල්‍ය වැඩසටහනක් හඳුන්වා දෙයි


NDB බැංකුව තේ නිෂ්පාදකයන්ට සහ අපනයනකරුවන්ට ඔවුන්ගේ ව්‍යාපාර මෙහෙයුම් පුළුල් කිරීමට සහ තේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළට ගෙන යාමට සහාය වීම සඳහා නිර්මාණය කර ඇති විශේෂිත මූල්‍ය විසඳුමක් වන තේ නිෂ්පාදක මූල්‍ය වැඩසටහන හඳුන්වාදීමත් සමග ශ‍්‍රී ලංකාවේ අපනයන සහ නිෂ්පාදන අංශ බලගැන්වීම සඳහා ඔවුන්ගේ ඇති අඛණ්ඩ කැපවීම ඉස්මතු කරයි.
ශ‍්‍රී ලංකාවේ වඩාත්ම කැපී පෙනෙන කර්මාන්තවලින් එකක් ලෙස, තේ කර්මාන්තය රටේ ආර්ථිකයේ ප‍්‍රමුඛ ස්ථානයක් ගනී. දහස් ගණනකගේ ජීවනෝපාය තිරසාර කරමින් සහ ශ‍්‍රී ලාංකීය තේවල ඇති අසමසම ගුණාත්මකභාවය සඳහා ගෝලීය පිළිගැනීමක් ද හිමිව ඇත. මෙය තහවුරු කිරීමක් ලෙස, තේ නිෂ්පාදකයන්ට සහ අපනයනකරුවන්ට ඵලදායිතාව, ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ ජාත්‍යන්තර තරගකාරිත්වය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය වන අරමුදල් ලබාගැනීමට උපකාර කිරීමට NDB බැංකුව විසින් මෙම මූල්‍ය වැඩසටහන හඳුන්වා දී ඇත.
මෙම යෝජනා ක්‍රමය යටතේ, ව්‍යාපාර ලබාගන්නා මිල අධික කෙටි කාලීන ණය ගැනීම් අවම කිරීම සඳහා අඩු පොලී අනුපාත යටතේ අරමුදල්වලින් ප‍්‍රතිලාභ ලබාගත හැකි අතර, භාණ්ඩ ලැබීමේ සටහන් (GRN) මත පදනම් වූ ක්ෂණික ණය ලබාදීම් සහ අවම ලියකියවිලි යටතේ බාධාවකින් තොරව ප‍්‍රවේශවීමේ පහසුව සලසයි. මෙම වැඩසටහන නම්‍යශීලී බව මූලික කරගෙන නිර්මාණය කර ඇති අතර, ඕනෑම පරිමාණයක තේ කර්මාන්ත ශාලාවලට ඔවුන්ගේ මෙහෙයුම් අවශ්‍යතා අනුව කාරක ප‍්‍රාග්ධනය හෝ දිගු කාලීන මූල්‍යකරණයට ප‍්‍රවේශවීමට හැකි වේ.
මෙම නවතම මුලපිරීම පිළිබඳව අදහස් දක්වමින් NDB බැංකුවේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර, මධ්‍ය වෙළෙඳපොළ සහ ව්‍යාපාර බැංකුකරණ අංශ ප‍්‍රධානී, උප සභාපති ඉන්දික රණවීර මහතා මෙසේ පැවසීය. ‘ශ‍්‍රී ලංකාවේ තේ කර්මාන්තය සෑමවිටම අපගේ ජාතික ආර්ථිකයේ ශක්තිමත් කුලු‍නකි. තේ නිෂ්පාදක මූල්‍ය වැඩසටහන හරහා, නිෂ්පාදකයන්ට සහ අපනයනකරුවන්ට ඔවුන්ගේ ව්‍යාපාර ගෝලීය වශයෙන් නවීකරණය කිරීමට, නවෝත්පාදනය කිරීමට සහ තරඟ කිරීමට අවශ්‍ය මූල්‍ය සහාය ලබාදීම අපගේ අරමුණයි. ඔවුන් වෙහෙස මහන්සි වී නිෂ්පාදනය කරනු ලබන තේ දල්ල, එම ව්‍යාපාරිකයන්ට තිරසාර සහ සමෘද්ධිමත් ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීමට ඔවුන්ට උපකාර කිරීම අපගේ අභිප‍්‍රායයි’
මෙම වැඩසටහන NDB බැංකුවේ පුළුල් දැක්ම සමග සමපාත වන අතර, සැමට ප‍්‍රවේශ විය හැකි සහ යහපත් අරමුණු මත පදනම් වූ මූල්‍ය විසඳුම් හරහා ශ‍්‍රී ලාංකික අපනයනකරුවන් සහ නිෂ්පාදකයන් සවිබල ගැන්වීමට කැපවී සිටී. වසර ගණනාවක් පුරා, ව්‍යවසායකයන්ට සහායවීම සඳහා SME Re-Energizer  ණය යෝජනා ක්‍රමය, හරිත කර්මාන්ත ප‍්‍රවර්ධනය කරන E-Friends II ප‍්‍රතිමූල්‍යකරණ පහසුකම සහ ගෝලීය වෙළෙඳපොළට ප‍්‍රවේශවීම සඳහා ව්‍යාපාර දැනුවත් කිරීම සහ එම ව්‍යාපාරිකයන් සන්නද්ධ කිරීම අරමුණු කරගත් දිවයින පුරා පවත්වන අපනයනකරුවන්ගේ සංසද මාලාවක් වැනි මුලපිරීම් කිහිපයක් බැංකුව විසින් දියත් කර ඇත.