ශ්‍රී ලංකා ටෙනිස් සංගමයෙන් ප්‍රිමියර් ලීග් තරගාවලියක්



ශ්‍රී ලංකා ටෙනිස් සංගමය විසින් ‘ශ්‍රී ලංකා ටෙනිස් ප්‍රිමියර් ලීග්’ [Sri Lanka Tennis Premier League (SLTPL)] තරගාවලියේ ආරම්භය ඉකුත්දා නිල වශයෙන් නිවේදනය කරන ලදී. මෙය මෙරට ටෙනිස් ක්‍රීඩාවේ ඉදිරි ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැක. 

ප්‍රථම වරට පැවැත්වෙන මෙම තරගාවලිය 2026 අප්‍රේල් 22 සිට 25 දක්වා පැවැත්වීමට නියමිතය. වෘත්තීයමය පරිපාලනයකට යටත්ව ෆ්‍රැන්චයිස් (Franchise) ක්‍රමයට පැවැත්වෙන මෙම තරගාවලියට දිවයින පුරා විසිරී සිටින ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වනු ඇත. කොළඹ, යාපනය, මඩකළපුව, කුරුණෑගල, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මීගමුව වශයෙන් ප්‍රධාන නගර පදනම් කරගත් ෆ්‍රැන්චයිස් 8 ක් මීට ඇතුළත් වේ. මෙය ප්‍රවීණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉහළ මට්ටමේ තරගකාරී අත්දැකීමක් ගෙනෙනු ඇති අතර, නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙය තම හැකියාව සහ පළපුරුද්ද වැඩිදියුණු කරගැනීම සඳහා ලැබෙන මහඟු‍ අවස්ථාවක් වනු ඇත. 

“ශ්‍රී ලංකා ටෙනිස් ප්‍රිමියර් ලීග් තරගාවලිය මෙරට ටෙනිස් ක්‍රීඩාවේ පරිවර්තනීය පියවරක් නියෝජනය කරන තරගාවලියක්. මෙමගින් අපට ටෙනිස් ක්‍රීඩාව සෑම අතින්ම ශක්තිමත් කරන, තිරසාර, අනාගතයට ගැළපෙන ක්‍රීඩා ආකෘතියක් ලැබී තිබෙනවා. එමෙන්ම ඉන් ලැබෙන වාණිජ ආදායම සෘජුවම නැවත ක්‍රීඩාවේ යහපත වෙනුවෙන් ආයෝජනය කෙරෙනවා. මෙය ශ්‍රී ලංකාවේ ටෙනිස් ක්‍රීඩාව වැඩි පිරිසක් වෙත විවෘත කිරීම, ක්‍රීඩාවේ ප්‍රමිති ඉහළ නැංවීම සහ කල් පවතින යටිතල පහසුකම් ගොඩනැංවීම යනාදිය මූලික කරගත් ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ දීර්ඝකාලීන දැක්ම සමඟ මැනැවින් සමගාමී වන තරගාවලියක් ලෙස හැඳින්විය හැකියි.” ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ සභාපති ඉක්බාල් බින් අයිසැක් මහතා පැවසීය.

SLTPL තරගාවලිය ආරම්භ කරන ලද්දේ පැහැදිලි සහ ඒකීය දැක්මක් සහිතවය. එම දැක්ම නම් ‘ශ්‍රී ලංකාවේ ටෙනිස් ක්‍රීඩාවේ දීර්ඝකාලීන වර්ධනය සඳහා කැප වූ තිරසාර වේදිකාවක් ස්ථාපිත කිරීම’ යන්නයි. සියයට 100 ක්ම ලාභ නොලබන වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාත්මක වන මෙම තරගාවලියෙන් ලැබෙන සියලු‍ම ලාභ ක්‍රීඩාවේ යහපත වෙනුවෙන් සෘජුවම නැවත ආයෝජනය කෙරේ. මෙමගින් ශ්‍රී ලංකාවේ ටෙනිස් ක්‍රීඩාව සම්බන්ධ යටිතල පහසුකම් වැඩිදියුණ වීම, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වැඩි අවස්ථා හිමි වීම, ටෙනිස් ක්‍රීඩාවේ ප්‍රාදේශීය ආවරණ පරාසය පුළුල් වීම සහ සමස්තයක් ලෙස රට පුරා වැඩි පිරිසකට ටෙනිස් ක්‍රීඩාවේ නියැළීමට අවස්ථාව හිමි වීම ඇතුළු ප්‍රතිලාභ රාශියක් හිමි වනු ඇත. 

“SLTPL යනු ශ්‍රී ලංකාවේ ටෙනිස් ක්‍රීඩාවේ තරගකාරීත්වය ඉහළ නංවන අතරම ජාත්‍යන්තර සහභාගීත්වය සඳහා ක්‍රමානුකූලව මංපෙත් විවර කරන දීර්ඝකාලීන සංවර්ධන වේදිකාවක් ලෙස ක්‍රමෝපායිකව සැලසුම් කළ තරගාවලියක්.” ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ උප සභාපති සහ තරගාවලි හා තරග ප්‍රධානී රුක්මාල් කුරේ මහතා පැවසීය.