
ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය ජාත්‍යන්තර අවධානයට යොමු කරමින්, ‘2026 ශ්‍රී ලංකා ආයෝජන සමුළුව‘ පැවැත්වීමට මේ වන විට කටයුතු සූදානම් කර ඇත. ශක්තිමත් සාර්ව ආර්ථික පදනම සහ විනයගරුක ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ මගින් ගොඩනැගුණු මෙම සමුළුව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) විසින් යුරෝපා සංගමය, ආසියානු සංවර්ධන බැංකුව සහ එක්සත් ජාතීන්ගේ ESCAP ආයතනය සමග එක්ව සංවිධානය කරනු ලබයි. එය 2026 මාර්තු 30 වන දින සිනමන් ලයිෆ් පරිශ්‍රයේදී පැවැත්වෙන අතර, එහි මූලික අරමුණ වන්නේ මෙරට තුළ යළි ගොඩනැගී ඇති ආයෝජක විශ්වාසය සහ නව ආයෝජන අවස්ථා ලෝකය හමුවේ ප්‍රදර්ශනය කිරීමයි.
ආර්ථික ප්‍රකෘතිමත් වීමත් සමග ශ්‍රී ලංකාව තිරසාර, ඉහළ වටිනාකමකින් යුතු සහ තාක්‍ෂණය පදනම් කරගත් සංවර්ධන මධ්‍යස්ථානයක් ලෙස ලොවට හඳුන්වා දීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණයි. ගෝලීය ආයෝජකයන්, බහුජාතික සමාගම්, සංවර්ධන මූල්‍ය ආයතන සහ හෙජ් අරමුදල් (Hedge funds) කළමනාකරුවන්ට, නව දැක්මක් සහිතව පෙරට යන ශ්‍රී ලංකාව සමග අත්වැල් බැඳ ගැනීමට මෙහිදී අවස්ථාව සැලසේ. ‘ශ්‍රී ලංකාවේ හරිත සහ සබඳතා සපිරි අනාගතයක් වෙනුවෙන් ආයෝජනය‘ (Investing in Sri Lanka’s Green and Connected Future) යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුවේදී, පරිසර සංරක්ෂණය සහ ගෝලීය සබඳතා ඒකාබද්ධ වූ සුවිශේෂී ආයෝජන අවස්ථා පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරනු ඇත.
ශ්‍රී ලංකාව උපායමාර්ගික වැදගත්කමින් යුතු ලොව කාර්යබහුලම මුහුදු මාර්ගයක පිහිටීම, අභිලාෂකාමී පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සහ දියුණු වෙමින් පවතින ඩිජිටල් යටිතල පහසුකම් හේතුවෙන් අද වන විට ලෝකයේ සුවිශේෂී ස්ථානයක පසුවෙයි. තිරසාර සැපයුම් දාම, තාක්‍ෂණය පදනම් කරගත් කර්මාන්ත සහ දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන වර්ධනයක් කරා යන ගෝලීය ප්‍රවණතාව තුළ හිතකර අවස්ථා දිනා ගැනීමට මෙමගින් ශ්‍රී ලංකාවට මනා පිටිවහලක් ලැබේ.
ශ්‍රී ලංකාවේ ආර්ථික ගමන් මඟෙහි තීරණාත්මක මොහොතක සංවිධානය කර ඇති මෙම ‘Invest in Sri Lanka’ සමුළුව, විවිධ ප්‍රතිසංස්කරණ හරහා මෙරට ලබාගත් සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ දිනාගත් විශ්වාසය මනාව පිළිබිඹු කරයි. රටේ ප්‍රධානතම ආයෝජන ප්‍රවර්ධන ආයතනය ලෙස මෙම පරිවර්තනයට නායකත්වය දෙන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, කඩිනම් අනුමැතිය ලබාදීමේ ක්‍රමවේද සහ ආයෝජන පහසුකම් සැලසීම හරහා ව්‍යාපාර කිරීමේ පහසුව ඉහළ නැංවීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය වටපිටාව සැකසීමෙහිලා පෙරමුණ ගෙන සිටී.
මේ පිළිබඳව අදහස් දක්වමින් ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම්. වීරකෝන් මහත්මිය මෙසේ ප්‍රකාශ කළාය. ”ශ්‍රී ලංකාව මේ පසුවන්නේ එහි ආර්ථික ගමන් මඟෙහි ඉතා තීරණාත්මක සන්ධිස්ථානයකයි. අපේ ‘Invest in Sri Lanka’ සමුළුව හරහා ගෝලීය ආයෝජන ප්‍රජාවට අප ආරාධනා කරන්නේ, ශ්‍රී ලංකාව සතු උපායමාර්ගික පිහිටීමේ වාසිය, ඉහළ ප්‍රතිලාභ ලැබීමේ හැකියාව සහ තාක්ෂණය මත පදනම් වූ තිරසාර වර්ධනය පිළිබඳ විශ්වාසය තබමින් අප සමඟ අත්වැල් බැඳගන්නා ලෙසයි. ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන සෑම ආයෝජකයකුටම කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුතු සහ දිගුකාලීන හවුල්කාරිත්වයක් සහතික කිරීමට ආයෝජන මණ්ඩලය ලෙස අප උපරිමයෙන්ම කැපවී සිටිනවා.”
ශ්‍රී ලංකාවේ පවතින ස්ථාවරත්වය සහ ඉදිරි ගාමී ප්‍රවණතාවය හඳුනාගනිමින්, ජාත්‍යන්තර ආයෝජන ප්‍රජාව මේ වන විට මෙරට පිළිබඳව දක්වන ආකල්පයේ පැහැදිලි වෙනසක් ඇති වී තිබේ. 2025 වසරේදී ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් බිලියනයකට වඩා වැඩි විදේශ සෘජු ආයෝජන (FDI) ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමට සමත් වූ අතර, එය ජාත්‍යන්තර ආයෝජක විශ්වාසය තහවුරු වූ තීරණාත්මක සන්ධිස්ථානයකි. වඩාත් වැදගත් කරුණ වන්නේ එම වසර තුළ පමණක් ඉහළ වටිනාකමකින් යුතු නව ආයෝජන ව්‍යාපෘති 24ක් ආරම්භ වීමයි. එමගින් පෙන්නුම් කරන්නේ ගෝලීය ප්‍රාග්ධනය හුදු ප්‍රතිආයෝජනයෙන් ඔබ්බට ගොස්, ශ්‍රී ලංකාවේ මීළඟ වර්ධන අදියර සඳහා නව සහ දිගුකාලීන දායකත්වයක් ලබා දීමට සූදානම් බවයි.
ශ්‍රී ලංකාවේ මෙම නව ආර්ථික ගමන පිටුපස ඇත්තේ ශක්තිමත් සාර්ව ආර්ථික දර්ශකයන්ය. 2025 වසරේ පළමු මාස නවය තුළ දළ දේශීය නිෂ්පාදිතය (GDP) සියයට 5.0 කින් වර්ධනය වූ අතර, එය ප්‍රධාන ආර්ථික අංශ පුරා පැතිරුණු පුළුල් ප්‍රකෘතිමත් වීමක් පෙන්නුම් කරයි. එහිදී කාර්මික අංශය සියයට 8.1 ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කළ අතර, සේවා අංශය (3.5%) සහ කෘෂිකාර්මික අංශය (3.6%) ද ස්ථාවර වර්ධනයක් පෙන්නුම් කළේය. 2026 වසර සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සියයට 4- සියයට 5 ත් අතර ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන අතර, මෙය රට කෙටි කාලීන ස්ථායීකරණයෙන් ඔබ්බට ගොස් තිරසාර ආර්ථික වර්ධනයක් කරා ගමන් කරන බවට වන විශ්වාසය තහවුරු කරයි. ස්වාධීන සහ විනයගරුක මධ්‍යම බැංකු රාමුවක් හරහා උද්ධමනය ද සියයට 4-5 සීමාව තුළ පවත්වා ගැනීමට අපේක්ෂිත බැවින්, ශ්‍රී ලංකාවේ ආර්ථික පරිසරය පිළිබඳව ආයෝජකයන් තුළ පවතින විශ්වාසය තවදුරටත් ශක්තිමත් කෙරේ.
ශ්‍රී ලංකාව හරිත හා සබඳතා සපිරි ආර්ථිකයක් වෙත ගමන් කිරීම ද මෙහිදී අතිශය වැදගත් කරුණකි. ‘2025-2030 ජාතික බලශක්ති ප්‍රතිපත්තිය‘ යටතේ, 2030 වසර වන විට විදුලි උත්පාදනයෙන් සියයට 70 ක් පුනර්ජනනීය බලශක්තිය මගින් ලබාගැනීම ශ්‍රී ලංකාවේ අරමුණයි. මෙය සූර්ය බලශක්තිය, සුළං බලශක්තිය සහ නැගී එන හරිත හයිඩ්‍රජන් වැනි ක්ෂේත්‍ර ඔස්සේ ආයෝජකයන්ට සුවිශේෂී අවස්ථා රැසක් උදා කර දෙයි.
බලශක්ති අංශයෙන් ඔබ්බට යමින්, ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා විවිධ සහ ඉහළ වටිනාකමකින් යුතු ක්ෂේත්‍ර රැසක් පුරා විහිදී පවතී. විශේෂයෙන්ම සැපයුම් දාම කළමනාකරණය සහ ගබඩා පහසුකම්, ගුවන් සේවා, කාර්මික නිෂ්පාදන, ඖෂධ නිෂ්පාදනය, වෙරළාසන්න සංචාරක ව්‍යාපෘති, ආගන්තුක සත්කාරක යටිතල පහසුකම්, තාක්ෂණික සහ නවෝත්පාදන උද්‍යාන, විශ්වවිද්‍යාල නගර මෙන්ම නිර්මාණශීලී කර්මාන්ත කේන්ද්‍රස්ථාන වැනි ක්ෂේත්‍රයන්හි ආයෝජකයන් සඳහා සුවිශේෂී අවස්ථා උදාවෙමින් පවතී. කලාපීය සහ ගෝලීය වෙළෙඳපොළ සමග ඇති උපායමාර්ගික සබඳතා නිසා, ඉන්දියානු සාගරයේ පිහිටි වඩාත්ම වැදගත් ආර්ථිකයක් ලෙස ශ්‍රී ලංකාව ආයෝජකයන්ට ස්ථාවර වේදිකාවක් සපයයි. මෙම අවස්ථා ප්‍රායෝගික හවුල්කාරිත්ව බවට පත් කිරීමේ අරමුණින් ‘Invest in Sri Lanka’ සමුළුව සංවිධානය කර ඇත. ගෝලීය ආයෝජකයන්, ආයතනික ප්‍රධානීන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් එකම වේදිකාවකට ගෙන එන මෙම සමුළුව, ඉහළ මට්ටමේ සාකච්ඡා සහ අනාගත ව්‍යාපෘති පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට මහඟු අවස්ථාවක් වනු ඇත. තීරණ ගන්නා නිලධාරීන් සමඟ සෘජුවම සම්බන්ධ වීමට ලැබෙන මෙම අවස්ථාව හරහා, ආයෝජන යෝජනා සැබෑ ව්‍යාපෘති බවට පත් කිරීමට අවශ්‍ය පසුබිම මෙහිදී සැකසෙනු ඇත.
ස්ථාවරත්වය සහ වර්ධනය යන අංශ දෙකම අත්කර ගත හැකි වෙළෙඳපොළක් සොයන ගෝලීය ප්‍රාග්ධනය සඳහා, ශ්‍රී ලංකාවේ මෙම නව නැගිටීම ඉතා ආකර්ෂණීය අවස්ථාවක් තිලිණ කරයි. ශක්තිමත් වෙමින් පවතින ආර්ථික මූලිකාංග, අභිලාෂකාමී තිරසාර ඉලක්ක මෙන්ම නවීන නිෂ්පාදන, සැපයුම් දාම, පුනර්ජනනීය බලශක්තිය සහ ඩිජිටල් යටිතල පහසුකම් වැනි අංශ ඔස්සේ පුළුල් වන ආයෝජන අවස්ථා, ඉන්දියානු සාගර කලාපයේ නව ආයෝජන කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ නැගීම මනාව සංකේතවත් කරයි.
දකුණු ආසියාවේ ප්‍රමුඛතම ආයෝජන සමුළුවක් වන ‘Invest in Sri Lanka’, ශ්‍රී ලංකාවේ නව ආර්ථික පරිවර්තනය සමඟ සෘජුව සම්බන්ධ වීමට ඔබට ලැබෙන කදිම අවස්ථාවකි. ශීඝ්‍ර වර්ධනයක් අත්කර ගැනීමට අපේක්ෂා කරන ආයෝජකයින්ට, ශ්‍රී ලංකාවේ නව වර්ධන මාවතට අත්වැල් බැඳගැනීමට මෙය සුදුසුම අවස්ථාවයි.

