- මාසෙකට රුපියල් තිස්දාහක පමණ ආදායමක්
- ලොකු වියදමක් නැතිව අමතර ආදායමක් හොයා ගන්න පුළුවන්
- කිසිම කරදරයක් නැතිව අවුරුදු පහළොවක් විතර මේ චිත්‍රයක් තියාගන්න පුළුවන්
සටහන හා ඡායාරූප - බුල්නෑව ප්‍රදීප් රණතුංග
උතුරු මැද පළාත් නොවිධිමත් අධ්‍යපන ඒකකය අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කෙරෙන කෙසෙල් පත් නිර්මාණ පාඨමාලාව සාර්ථකව හදාරා එමගින් මාසිකව අමතර ආදායමක් උපයා ගන්නා අයගේ තොරතුරු සොයා අපි ගියෙමු. ඉවත ලන වියළි කෙසෙල් පත්‍ර සහ පට්ටා මගින් කරන නිර්මාණ මගින් සරු ආදායමක් උපයා ගැනීමට ඔවුනට හැකිව තිබේ. නිවසේ දෛනික කටයුතු අතරේ ලැබෙන විවේකය තුළ විවිධ, විචිත්‍රවත් කෙසෙල් පත් නිර්මාණ සිදුකරමින් අමතර ආදායමක් උපයා ගැනීමේ අවස්ථාව මෙසේ ඔවුනට උදාවී තිබේ.
අනුරාධපුර, රඹෑව ප්‍රදේශයේ දිවි ගෙවන සුදර්ශණි අනුෂිකා ප්‍රීතිවර්ධන මසකට රුපියල් තිස්දහසකට ආසන්න මුදලක් සිය නිර්මාණ මගින් උපයා ගැනීමට සමත්ව සිටින්නීය. ඇය සිය නිර්මාණ කලාව පිළිබදව මෙසේ පැවසුවාය.
“මහත්තයාගේ වැඩ වලටත් උදව් වෙලා, දරුවන්ගේ වැඩත් කරලා, ගෙදර කටයුතුත් ඉවර කරලා ලැබෙන විවේක වෙලාවෙදි තමයි මම නිර්මාණ කරන්නේ. නොවිධිමත් අධ්‍යපන ඒකකයේ සර් ගමටම ඇවිල්ලා තිබ්බ පාඨමාලාවෙන් තමයි නිර්මාණ කරන්න ඉගෙන ගත්තේ. මං නිර්මාණ කරන්න අරගෙන වැඩි කාලයක් නෑ. ඒත් මේ වෙනකොට අඳුරන අයගෙන් නිර්මාණ කරලා දෙන්න කියලා ලොකු ඉල්ලුමක් තියෙනවා. මේ වෙනකොට මාසෙකට රුපියල් තිස්දාහක වගේ ආදායමක් මට තියෙනවා. ඒකෙන් මට මගේ වැඩත් කරගෙන ගෙදරටත් උදව් කරන්ඩ පුළුවන්.”
උපන් දින සැමරුම්, සේවා සමුදීමේ උත්සව අවස්ථාව, විවිධ ඇගයීම් උත්සව ආදිය සඳහා සමරු තිළිණ නිර්මාණය කිරීමට ඔවුහු යොමුව සිටිති. එපමණකින් නොනැවතී විසිත්ත කාමර සැරසිලි, නිවාඩු නිකේතන ආදිය සඳහා විවිධ නිර්මාණ කර දී ආදායමක් උපයා ගැනීමේ වාසනාව මෙම කතුන් වෙත උදාවී ඇත. එහැම අතරේ විවිධ හස්ත කර්මාන්ත නිර්මාණ තරග සඳහා නිර්මාණ ඉදිරිපත් කොට ජය ලැබීමට ද ඔවුහු සමත්ව සිටිති. මේ අන්දමින් මෙවර උතුරු මැද පළාත් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් පැවැත්වු ශිල්ප අභිමානි හස්ත කර්මාන්ත ප්‍රදර්ශනයේදී අත්කම් නිර්මාණ අංශයේ ප්‍රථම ස්ථානය ලැබීමට අනුරාධපුරය, ගෙවල් 55 ප්‍රදේශයේ චතුරිකා විජේවර්ධන සමත්ව තිබේ. වියළි කෙසෙල් පත් මගින් ඇය කළ තුන්පත් රටා නිර්මාණය සඳහා එම ජයග්‍රහණය හිමිව ඇත. ඇය මෙසේ පැවසුවාය.
“ගෙදරටම වෙලා මේ නිර්මාණ කරන්න පුළුවන් නිසා ගෙදර වැඩ වලටත් බාධාවක් නෑ. මේක අලුත්ම නිර්මාණ කලාවක් නිසා තාමත් ගොඩක් අය මේ ගැන දන්නේ නෑ. ඒත් දැන් ටික ටික අපිට ඇණවුම් එනවා. ලොකු වියදමක් නැතිව අමතර ආදායමක් හොයා ගන්ඩ පුළුවන් මේ නිර්මාණ වලින්. මං ඉදිරිපත් කරපු තුන්පත් රටා නිර්මාණය ජාතික හස්ත කර්මාන්ත තරගෙට තේරීලා තියෙනවා. ඒක ලොකු ජයග්‍රහණයක්.”
වියළි අතු පතරින් සුසැදි ගහ කොළ, දිය සිඳී ගිය වැව් අමුණු, ආයාචනාත්මක සහ සිනහා පිරි නේක මුහුණු ආදිය වියළි කෙසෙල් පත් මගින් ඔප දමා ඇති අන්දම විස්මය දනවන සුළුය. මෙහොතින් මොහොත වෙනස් වන විචිත්‍රවත් වළාකුළු, හැල්මේ ගළා යන දිය කදුරු, බිම් කලුවර හා පොර අල්ලන රාස්සිගේ අව්ව, අදුර සමග අතු පතරින් මතුව එන සඳ මඬල ආදිය මේ ළියන්ගේ නේක නිර්මාණවලට තේමා වී තිබේ. මෙමගින් යම් ආදායමක් උපයන අතරේ ලද හැකි මානසික සහනය ඔවුනට මාහැඟි වාසියක් වී තිබේ.
මරදන්කඩවල භාග්‍ය ප්‍රියදර්ශණි දිසානායක මෙසේ පැවසුවාය.
“මේක ලොකු ඉවසීමකින් කරන්න ඕන වැඩක්. හරියට භාවනාවක් වගේ. ඇත්තටම මට නම් මේ නිර්මාණ කරන එක ලොකු මානසික සැනසීමක්. එක අතකින් ආදායමක් උපය ගන්න පුළුවන්. ඊටත් වැඩිය මේකෙන් ලැබෙන මානසික සැනසීම මටනම් පුදුම තරම් වටිනවා. කොහොමත් මං මාසෙකට රුපියල් විසිදාහක් විතර දැනට මාසෙකට හොයාගන්නවා. අපිව දන්න අය අපිට ඇණවුම් දෙනවා. මං මගේ මුහුණු පොතේ දාලා තියෙන තොරතුරු දැකලා සමහරු කතා කරලා නිරමාණ කරලා දෙන්න කියනවා..”
කෙසෙල් පත්‍ර නිර්මාණ කලාව තවමත් මෙරට නැවුම් අත්දැකීමකි. හුදකලාව ගත දිවියේ සැඳෑ සමය මෙම කෙසෙල් පත් නිර්මාණ කලාව සමග ඔප දමන අනුරාධපුරය, දෙවන පියවරෙහි පදිංචි සුමනා කරුණාරත්න සිය අත්දැකීම විස්තර කළේ මෙපරිද්දෙනි.
“අපි වයසට යනකොට එක තැනකට වෙලා ඉන්න කාලය වැඩියි. එහෙම කෙනකුට මෙහෙම කලාවක් ඉගෙන ගෙන ආදායමක් හොයාගන්න පුළුවන් නම් ලොකු දෙයක්. නිකං ඉන්න එකේ දෙයක් ඉගෙන ගෙන මොනව දෙයක් කරන්න ඕන කියලා. එහෙම ඉන්න කොට තමයි මේ පුහුණුවට සහභාගි වෙන්න පුළුවන් වුනේ. දැන් මං මාසෙකට රුපියල් පහළොස්දාහක් විතර හොයාගන්නවා. මේ වැඩේ හිතටත් ලොකු සැනසීමක්.”
මෙම කෙසෙල් පත් නිර්මාණ කලාවේ පුහුණු උපදේශකවරයා ලෙස කටයුතු කොට ඇත්තේ සිතුවිලි කොහොලන්ගොඩ මහතාය. ඔහු උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්මේන්තුවේ, නොවිධිමත් අධ්‍යපන ඒකකයේ පුහුණු උපදේශකවරයෙකි. සිතුවිලි කොහොලන්ගොඩ කෙසෙල් පත් නිර්මාණ කලාව පිළිබඳව විවිධ මට්ටමේ පර්‌යේෂණ සහ අත්හදා බැලීම් කළ නිර්මාණකරුවෙකි. මෙම කලාව පිළිබඳව ඔහු “තුරුලියපත් සිතුවම් කලාව”, “මානව රූප ඇලවීම” සහ “කෙසෙල් ගසක මහිම” නමින් කෘතීන් තුනක් ලියා පළකොට ඇත්තේ නිර්ලෝභීව සිය අත්දැකීම් ජාතියට දායාද කරමිනි.
ඔහු කෙසෙල් පත් නිර්මාණ කලාව පිළිබඳව පැවසුවේ මෙවැනි අදහසකි.
“කෙසෙල් කොළ අරගෙන සියුම් විදිහට බැලුවොත් පේනවා විවිධ වර්ණ 20 ක් විතර තියෙනවා. කෘතිම ආලේප භාවිත නොකර ස්වාභාවික තත්වයෙන් පිහිටන විදිහට නිර්මාණ ඉදිරිපත් කරන විදිහ තමයි මං උගන්නන්නේ. මේ විදිහේ නිර්මාණ කරන්න ඕන වෙන්නේ ආසාවයි, කැමැත්තයි විතරයි. වැදගත්ම කාරනේ තමයි මේ නිර්මාණ කරන්න කැමැත්තක් තියෙන කෙනකුට චිත්‍ර අඳින හැකියාව තියෙන්න ඕන නෑ. තියෙනවනම් හොඳයි. කිසිම කරදරයක් නැතිව අවුරුදු පහළොවක් විතර මේ චිත්‍රයක් තියාගන්න පුළුවන්. මේ වගේ නිර්මාණ හොයාගෙන ඇවිල්ලා ගන්න පිරිසකුත් ඉන්නවා. ඉතිං ඒ වගේ අයගේ අවධානය වැඩි වැඩියෙන් යොමු කරගන්නේ කොහොමද කියන එක තමයි දැනට තියෙන අභියෝගය. කර්මාන්ත අමාත්‍යාංශය මැදිහත් වෙලා ඒකට වැඩපිළිවෙළක් හදලා දෙනවා නම් ඒක මේ නිර්මාණ කලාව රැකගන්න දක්වන ලොකු සහයෝගයක්.”