වියට්නාම වෙළෙඳ නියෝජිත කණ්ඩායමක් මෙරට ආයෝජනයට සාකච්ඡාවක


කෝපි වගාව සඳහා වන ආයෝජන සම්බන්ධයෙන් වැඩි අවධානයක්

භානුක අමරසිංහ
ලංකා වාණිජ මණ්ඩලය සහ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති කාර්යාලය එක්ව සංවිධානය කළ වියට්නාම - ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය පසුගියදා එම මණ්ඩලයේදී පැවැත්වුණි. මෙම අවස්ථාව වියට්නාමයේ කර්මාන්ත සහ වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය ෆාන් ති තාන්ග් සහ මෙරට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ. විමලේන්තිරාජා යන මහත්වරුන්ගේ සමසභාපතිත්වයෙන් සංවිධානය වී තිබුණි.


මෙම හමුවේදී වැඩි වශයෙන් කෝපි සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති අතර, වියට්නාම නියෝජිතයන් මෙරට තුළ කෝපි වගා කිරීම සඳහා වන ආයෝජන සම්බන්ධයෙන් සහ එම වගාවට අදාළ විශේෂඥතා දැනුම ලබාදීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ බව සඳහන් වෙයි. 
විශේෂයෙන්ම ලංකාවේ දේශගුණය සහ පාංශු තත්වය කෝපි වගාව සඳහා ඉතාමත් හොඳ ස්ථානයක් බවට පත් කර තිබෙන බව ඔවුන් පෙන්වා දී තිබේ. අද වනවිට වියට්නාමය කෝපි වගාව සම්බන්ධයෙන් ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව සිටියි.
මීට අමතරව අදාළ වියට්නාම නියෝජිතයන් පිරිස කෘෂිකර්මාන්තය සහ ජලජීවී වගාව, සැපයුම් සේවා, ඇගලු‍ම් සහ ඇගලු‍ම් කර්මාන්ත, යන්ත්‍රෝපකරණ, වඩාත් පුළුල් වෙළෙඳ සහ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් මෙන්ම දෙරට අතර ඍජු ගුවන් ගමන් සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ බවත් ලංකා වාණිජ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.