වික්ෂිප්ත ආයෝජකයෝ කොටස් විකිණීමේ අවදානම


ඇතැම් ආයෝජන අංශ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කෙරෙහි වික්ෂිප්ත වී ඇති අතර සුළු වෙනස්කම්වල දී පවා සිය ධනය ආරක්ෂා කරගැනීමට උත්සුක වන බවක් නිරීක්ෂණය කළ හැකිය. එය සුදුසු තත්වයක් නොවන බව අවධාරණය කරමින් දර්ශක පිරිහීමක් තවදුරටත් වාර්තා වන අතර මෙවැනි ස්වභාවයකින් උපායශීලී ගනුදෙනුකරුවෝ ලාබ උපයන්නට උත්සාහ කරනු ඇති බව දැක්වේ. 
දෙසැම්බර් මාසය ආරම්භ වනවිට සියලු කොටස් මිල දර්ශකය ඒකක 690 කින් පහත වැටුණමුත් පසුව දා එය සියයට තිහකින් පමණ නැවත ආවරණය විය. කෙසේ නමුත් ඉකුත් සිකුරාදා නැවත වතාවක් ඒකක 414 කින් පහත වැටුණ අතර එය වාර්තාගත බිඳ වැටීමක් වශයෙන් සනිටුහන්ය.
සුළි කුණාටුව හේතු කරගෙන ආර්ථිකයට ඇති කරන ලද පීඩනය පැතිරීමක් විය හැකි අතර ලබන වසර වන විට නැවතත් අභියෝග මතුවිය හැකි බවට සැකයක් ඇතැම් ආයෝජන අංශ තුළ පවතින බව පෙනේ. කෙසේ වෙතත් ඇතැම් පර්යේෂණ අංශ දැනට තක්සේරු කර ඇති ආකාරයට කුණාටු විපත් හේතු කරගෙන දේපොල හා යටිතල පහසුකම් සමග කරන ලද ආර්ථික හානිය රුපියල් බිලියන දෙකක් පමණ වේ. නිසි කළමනාකාරීත්වයක් සහ නිෂ්පාදන සැලැස්මක් අනුව නැවත පුනර්ජීවනයකට ඉඩ තිබෙන බව ඔවුහු පෙන්වා දෙති.
මේ අතර තවමත් විදේශ ආයෝජන අංශ විකිණීම්වලට නැඹුරුය. දිනයේ ගනුදෙනුවල දී විදේශ මිලදී ගැනීම් රු. මිලියන 89.4 ක් වන අතර විකිණීම් රු. මිලියන 384.9 කි. විදේශ විකිණීම් හෙයින් රු. මිලියන 295 ක ශුද්ධ වටිනාකමක් රටින් බැහැර වී තිබේ. 
මෙදින ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,826.59 ක් තෙක් පහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 414.98 ක පිරිහීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,030.66 ක් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 107.13 ක පහළ වැටීමකි. දෛනික පිරිවැටුම රු. බිලියන 3.77 කි. ගනුදෙනු 37,366 ක් වාර්තා වී තිබේ. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 171.27 ක් විය. සමාගම් 55 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 225 කි. 
- නිරීක්ෂක