වාහන ආනයන බදු ආදායමේ සියයට 800 කට වැඩි වර්ධනයක්


  • පළමු මාස 9දී වාහන ආනයන බද්දෙන් රජය රු.බි.349 ක ආදායමක්
  • පළමු මාස 8දී ඩො.මි.918ක් වාහන ආනයනයට වැයකරලා

විමුක්ති එස් රුද්‍රිගු


මෙම වසරේ පළමු මාස 9දී වාහන ආනයන බද්දෙන් රජය රුපියල් බිලියන 349 ක ආදායමක් උපයා ඇති අතර, පසුගිය වසරේ පළමු මාස 9ට සාපේක්ෂව එය සියයට 800 ක ප්‍රතිශතයකටත් වඩා වැඩි වර්ධනයකි.
වාහන ආනයන සීමා පනවා තිබීම හේතුවෙන් පසුගිය වසරේ පළමු මාස 9දී රජයට වාහන ආනයන බද්දෙන් උපයා ගැනීමට හැකියාව ලැබී තිබුණේ රුපියල් බිලියන 38 ක් පමණි.
මහ බැංකුවේ දත්ත වාර්තාවලට අනුව ශ්‍රී ලංකාව මෙම වසරේ පෙබරවාරි මාසයේදී වාහන ආනයනය සීමා ඉවත් කිරීමෙන් පසුව පළමු මාස 8දී ඩොලර් මිලියන 918 ක් වාහන ආනයනය සඳහා වැයකර තිබිණි. වාහන ආනයනය සඳහා වැඩිම මුදලක් වැය කර ඇත්තේ අගෝස්තු මාසයේ වන අතර, පසුගිය අගෝස්තු මාසයේදී වාහන ආනයනය කිරීම සඳහා රුපියල් මිලියන 249 ක මුදලක් වැයකර තිබුණේය.
පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කර තිබුණේ වාහන ආනයන සීමා ඉවත් කරන අවස්ථාවේ ඩොලර් බිලියන 1.2 ක වාහන ආනයනයක් බලාපොරොත්තු වුවත්, එය පහසුවෙන් ඩොලර් බිලියන 1.5 ක සීමාව පසුකර යනු ඇති බවයි.
ඒ අනුව මෙම වසරේ අවසන් මාස 4දී ඩොලර් මිලියන 582 ක වාහන ආනයනයක් සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද පසුගියදා ප්‍රකාශ කර සිටියේ රජයේ ආදායම සැලකිය යුතු ලෙස වර්ධනය වීමට වාහන ආනයනයෙන් ලැබූ ආදායම ප්‍රධාන හේතුවක් වී තිබෙන බවයි.