රුපියල් මිලියන 1,000කින් ‘වාරි මහිම - අපේ උරුමය’



නිමල කොඩිතුවක්කු 


 ‘වාරි මහිම - අපේ උරුමය’ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකාවේ කුඩා වාරි ව්‍යාපෘති සහ එල්ලංගා පද්ධති යනු ඓතිහාසිකව විකාශනය වූ, ප්‍රජාව කේන්ද්‍ර කර ගත් ජල කළමනා කරණ පද්ධති වන අතර, ඒවා ග්‍රාමීය කෘෂිකර්මාන්තය සහ ජාතික ආහාර සුරක්ෂිතතාව තිරසර ලෙස පවත්වා ගැනීමට දායක වී ඇත. එහෙත්, රොන් මඩ තැන්පත් වීම, ව්‍යුහාත්මක දුර්වලතා, වාරිමාර්ග කාර්යක්ෂමතාව අඩු වීම, එල්ලංගා පද්ධති ආශ්‍රිත සංරක්ෂිත කලාපවල අනවසර පදිංචිවීම් සහ දේශගුණික විපර්යාස හේතුවෙන් එම පද්ධති විශේෂ අවධානයට ලක් කළ යුතු තත්ත්වයට පත්ව තිබේ. 

එබැවින්, කුඩා ග්‍රාමීය ව්‍යාපෘති, එල්ලංගා පද්ධති සහ ගම්මාන කේන්ද්‍ර කරගත් කෘෂිකාර්මික ඒකකවල කෘෂිකාර්මික සශ්‍රීකත්වය සහ ග්‍රාමීය ආර්ථික ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් ‘වාරි මහිම - අපේ උරුමය’ යන නමින් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ සඳහා 2026 වර්ෂයේ අයවැය යෝජනා මඟින් රුපියල් මිලියන 1,000ක ප්‍රතිපාදන වෙන් වී තිබේ. ඒ අනුව, යෝජිත වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.