බදු පෙර ලාබය පෙර වසරේ රුපියල් මිලියන 481 සිට රුපියල් මිලියන 701.6 දක්වා ඉහළට
බදු පසු ලාබය රුපියල් මිලියන 449 දක්වා වර්ධනය වී ඇති අතර එය සියයට 76ක වර්ධනයක්
සමස්ත වත්කම් වටිනාකම රුපියල් බිලියන 24.5 ඉක්මවලා
රිචඞ් පීරිස් ෆිනෑන්ස් සමාගම 2026 මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා රුපියල් මිලියන 701.6ක බදු පෙර ලාබයක් වාර්තා කරමින් ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් පෙන්නුම් කර තිබේ. සමාගමේ අඛණ්ඩ ව්‍යාපාරික වර්ධනය, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ පාරිභෝගික හා ආයෝජක විශ්වාසය මෙම ප්‍රතිඵල මගින් තවදුරටත් තහවුරු වී ඇත. තරගකාරී වෙළෙඳපොළ තත්වය හමුවේ වුවද මූල්‍ය විනය සහ අවදානම් කළමනාකරණය මැනවින් පවත්වා ගනිමින් තිරසාර වර්ධනයක් අත්කර ගැනීමට සමාගම සමත් වී ඇති බව එහි වාර්ෂික මූල්‍ය ප්‍රතිඵල පෙන්වා දෙයි.
සමාගමේ බදු පසු ලාබය රුපියල් මිලියන 448.7 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පෙර වසරේ රුපියල් මිලියන 254.7ට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයකි. ප්‍රධාන ව්‍යාපාරික අංශවල වර්ධනය, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ පාරිභෝගික කේන්ද්‍රීය මූල්‍ය සේවා මෙම ප්‍රතිඵල සඳහා මූලික වශයෙන් දායක වී ඇත.
සමාගමේ සමස්ත වත්කම් පෙර වසරේ රුපියල් බිලියන 20.24 සිට රුපියල් බිලියන 24.57 දක්වා ඉහළ ගොස් ඇති අතර, පාරිභෝගික තැන්පතු රුපියල් බිලියන 11.68 දක්වා වර්ධනය වී ඇත. මෙම වර්ධනය සමාගම කෙරෙහි තැන්පත්කරුවන් සහ ආයෝජකයන් තබා ඇති අඛණ්ඩ විශ්වාසය මනාව පිළිබිඹු කරයි. කොටස් හිමියන්ගේ අරමුදල් ද රුපියල් බිලියන 4.43 දක්වා ශක්තිමත් වී ඇති අතර, එමගින් සමාගමේ ප්‍රාග්ධන පදනම සහ දිගුකාලීන මූල්‍ය ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් වී ඇත.මෙම මූල්‍ය ප්‍රතිඵල රිචඞ් පීරිස් ෆිනෑන්ස් සමාගමේ මෙහෙයුම් ආකෘතියේ ස්ථාවරත්වය මෙන්ම, විධිමත් අවදානම් කළමනාකරණය සහ යහපාලන ප්‍රමිති පවත්වා ගනිමින් තිරසාර වර්ධනයක් අත්කර ගැනීමේ හැකියාවද අවධාරණය කරයි.
සමාගමේ ණය සහ ආයෝජන සමූහය ප්‍රධාන ව්‍යාපාරික අංශ පුරා අඛණ්ඩ වර්ධනයක් වාර්තා කරමින්, ණය හා අත්තිකාරම් රුපියල් බිලියන 10.84 දක්වාත්, ලීසිං ලැබීම් රුපියල් බිලියන 7.41 දක්වාත් ඉහළ ගොස් ඇත. වාහන ලීසිං, රන් ණය, ඉස්ලාමීය මූල්‍ය සේවා, පාරිභෝගික ණය සේවා මෙන්ම නවතම ‘සරුමග‘ උකස් ණය විසඳුමද ඇතුළත් විවිධාංගීකරණය වූ සේවා සමූහයක් මගින් රිචඞ් පීරිස් ෆිනෑන්ස් සමාගම ශ්‍රී ලංකාව පුරා පාරිභෝගිකයන්ට විශ්වාසනීය මූල්‍ය සේවා සැපයුම්කරු ලෙස සිය ස්ථානය තවදුරටත් ශක්තිමත් කරමින් සිටියි.
සමාගමේ මූල්‍ය කාර්යසාධනය පිළිබඳ අදහස් දක්වමින් සභාපති නලින් විජේකෝන් මහතා මෙසේ පැවසීය. “මෙම ප්‍රතිඵල සමාගමේ ව්‍යාපාරික මාදිලියේ ස්ථාවරත්වය, පාරිභෝගිකයන් විසින් තබා ඇති විශ්වාසය සහ කාර්ය මණ්ඩලයේ කැපවීම පිළිබිඹු කරයි. එමෙන්ම, අභියෝගාත්මක ව්‍යාපාරික පරිසරයක් තුළද තිරසාර වර්ධනය, විචක්ෂණ යහපාලනය සහ සියලු පාර්ශවකරුවන් සඳහා දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කිරීම වෙත සමාගම අඛණ්ඩව අවධානය යොමු කර තිබෙනවා. මෙම අඛණ්ඩ ප්‍රගතියට මූලික හේතුව වන්නේ, රිචඞ් පීරිස් ෆිනෑන්ස් සමාගම කෙරෙහි පාරිභෝගිකයන්, ආයෝජකයන් සහ ව්‍යාපාරික හවුල්කරුවන් තබා ඇති විශ්වාසයයි.”
ප්‍රධාන විධායක නිලධාරී ලෝහික ෆොන්සේකා මහතා මෙසේ අදහස් දැක්වීය.
“අපගේ 2025/26 මූල්‍ය වර්ෂයේ කාර්යසාධනය ව්‍යාපාරය පුරා අප ගොඩනගාගත් ස්ථාවර ගතිකත්වය පිළිබිඹු කරයි. අපගේ මූලික මෙහෙයුම් ශක්තිමත් කරමින්, නිෂ්පාදන පරාසය පුළුල් කරමින්, පාරිභෝගික ප්‍රවේශය වැඩිදියුණු කරමින් සහ ඊළඟ වර්ධන අදියරට සහාය විය හැකි පද්ධති හා හැකියාව සඳහා ආයෝජනය කරමින් අප ඉදිරියට යමින් සිටිනවා. වගකීම් සහිත මූල්‍ය විසඳුම් ලබාදීමට අප ප්‍රධාන ලෙස අවධානය යොමු කරන අතර, ඒ සමගම සේවා, පාලන ක්‍රමවේද සහ අවදානම් කළමනාකරණය පිළිබඳ උසස් ප්‍රමිති පවත්වාගෙන යාමටද කැපවනවා. අප වර්ධනය වෙමින් සිටින මෙම ගමනේදී, අපගේ අරමුණ වන්නේ, රට පුරා පාරිභෝගිකයන්ගේ වෙනස්වන මූල්‍ය අවශ්‍යතා සපුරාලිය හැකි, තවදුරටත් ශක්තිමත් සහ වඩාත් නම්‍යශීලී ආයතනයක් ගොඩනැගීමයි.”
සමාගමේ වසරේ කාර්යසාධනය සඳහා ශක්තිමත් පාලන රාමුවක් මඟින් සහාය ලැබීය. එය බැංකු, මූල්‍ය, අවදානම් කළමනාකරණ, විගණන, මානව සම්පත්, තාක්ෂණය සහ ආයතනික උපායමාර්ග යන ක්ෂේත්‍රවල විශාල පළපුරුද්දක් ඇති වෘත්තීයවේදීන්ගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලයක් විසින් මෙහෙයවනු ලබයි. මෙම පුළුල් පළපුරුද්ද ආයතනයට උපායමාර්ගික මගපෙන්වීම සපයන අතරම, ශක්තිමත් අධීක්ෂණයක් සහ දිගුකාලීන තිරසාරභාවය සහතික කරමින් පවතියි.
ව්‍යාපාරික කටයුතු වර්ධනය වීම සහ මෙහෙයුම් කාර්ය සාධනය වැඩිදියුණු වීම හේතුවෙන් වසර තුළ ශුද්ධ මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 1.74 දක්වා ඉහළ ගියේය. අවදානම් නිසි ලෙස කළමනාකරණය කරමින් සහ ණය සමූහයේ ගුණාත්මකභාවය පවත්වා ගනිමින් සමාගම සමබර වර්ධනයක් අත්කර ගැනීමට සමත් විය.
සිය අඛණ්ඩ වර්ධන උපායමාර්ගයේ කොටසක් ලෙස රිචඞ් පීරිස් ෆිනෑන්ස් සමාගම ඩිජිටල් නවෝත්පාදන, මෙහෙයුම් විශිෂ්ටතාව සහ පාරිභෝගික ප්‍රවේශය වැඩිදියුණු කිරීම සඳහා අඛණ්ඩව ආයෝජනය කළේය. වර්ෂය තුළදී, සමාගම තම අභ්‍යන්තර ණය සැකසුම් ක්‍රියාවලිය සරල කරමින් මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් Loan Origination System (LOS) මාර්ගගත පද්ධතිය හඳුන්වා දෙන ලදී. එමෙන්ම, පාරිභෝගිකයන්ට සැම්සුන්ග් ස්මාර්ට්ෆෝන් සඳහා පහසු ප්‍රවේශයක් ලබාදීමේ අරමුණින්, සරල ණය පහසුකම් සහ නම්‍යශීලී ආපසු ගෙවීමේ විකල්ප සමගDevice Finance විසඳුමද හඳුන්වා දෙන ලදී. මෙම වැඩසටහන් සමග, ගෝලීයව පිළිගත් ප්‍රමිතීන්ට අනුකූලව සයිබර් ආරක්ෂණ රාමුව සඳහා සිදුකරන ලද අඛණ්ඩ වැඩිදියුණු කිරීම්ද එක්ව, තාක්ෂණය භාවිත කරමින් වැඩි පහසුවක්, කාර්යක්ෂමතාවක් සහ විශ්වාසනීයත්වයක් ලබාදීමට රිචඞ් පීරිස් ෆිනෑන්ස් සමාගමේ ඇති කැපවීම මැනවින් ප්‍රකාශ වේ.
ස්ථාවර ඉදිරි දැක්මක් සහිත Fitch Ratings ආයතන ශේණිගත කිරීමි A(lka) මඟින් සහය ලබා ඇති රිචඞ් පීරිස් ෆිනෑන්ස් සමාගම, අනාගත වර්ධනය සඳහා හොඳින් ස්ථානගත වී ඇත. සමාගමේ ශක්තිමත් මූල්‍ය පදනම, අඛණ්ඩව වර්ධනය වන ශාඛා ජාලය, විවිධාංගීකරණය වූ ණය සමූහය, ශක්තිමත් ප්‍රාග්ධන පදනම මෙන්ම රිචඞ් පීරිස් සමූහයෙහි පූර්ණ සහාය යන කරුණු, අඛණ්ඩ ව්‍යාප්තිය සඳහා ස්ථිර අඩිතාලමක් සපයයි. මෙම සියලුම සාධක සමාගමේ ස්ථාවරත්වය තහවුරු කරමින්, පාරිභෝගිකයන්ට මෙන්ම සියලුම පාර්ශවකරුවන්ට විශ්වාසය සහ ආරක්ෂාව සහතික කරන අතර, අනාගත වර්ධනය සඳහා ශක්තිමත් වේදිකාවක් නිර්මාණය කරයි.

