රාගල පෙයාස් වගාව වඳවීමේ අවදානමක්


පසුගිය වසරට සාපේක්ෂව මෙවර පෙයාස් අස්වැන්න සියයට පනහකින් පමණ පහළ ගිහින්
පෙයාස් ගස්වල මල් හට ගන්න කාලයේ පැවැති අධික වර්ෂාව හා සුළං ඊට බලපාලා
අස්වැන්න අඩු වීමෙන් වගාකරුවන් දැඩි ආර්ථික අපහසුතාවක
අස්වැන්න අඩු වුවත් තිබෙන අස්වැන්නට නිසි මිලක් ලැබෙන්නේ නැහැ
පෙයාස් ගස් රැසක් පසුගිය කාලයේ හදිසියේ වියළී ගොස් විනාශයට පත්වෙලා
මෙරට පෙයාස් වගාවේ අස්වැන්න ලැබෙන මාස කීපයේ හෝ පිටරටින් පෙයාස් ගෙන්වීම නතර කරන්න 
ගිය පාර පෙයාස් ගසකින් ගෙඩි කිලෝ 250ක් පමණ කැඩුවත් මෙවර ගසකින් කිලෝ 50ක් කඩන්න බැරි වෙලා


තලවකැලේ- ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ 


ශ්‍රී ලංකා ඇපල් ලෙස ප්‍රකට නුවරඑළියේ සරුවට වැවෙන රාගල පෙයාස් පලතුර මෙරටින් වඳවීයාමේ දැඩි අවදානමක් මේ වනවිට මතුව ඇතැයි රාගල පෙයාස් වගාකරුවෝ පවසති. 
පෙයාස් අස්වැන්න වැඩි වශයෙන් මේ දිනවල නෙළන කාලය වුවත් පසුගිය වසරට සාපේක්ෂව මෙවර පෙයාස් අස්වැන්න සියයට පනහකින් පමණ පහත බැස ඇති බවත්, වසංගතයක් හේතුවෙන් මෙම තත්වය පැන නැගී ඇද්දැයි සැකයක් පවතින බවත් ඔවුහු කියති.
ඉතා දුක් මහන්සියෙන් වසරක් පුරා පෙයාස් ගස් නඩත්තු කර ඒවායෙන් ලැබෙන අස්වැන්න මෙලෙස අඩු වී තිබීම හේතුවෙන් තමන් දැඩි ආර්ථික අපහසුතාවලට ලක්ව සිටින බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ පෙයාස් වගාව සරුවට කරනු ලබන  රාගල, මන්ත්‍රී‍තැන්න, බිංගන්තලාව, ගෝනපිටිය, පලල්පතන, රත්නායක පතන, ගෝනකැලේ, සෙන්ජෝන් ආදී ප්‍රදේශවල පෙයාස් වගාකරුවෝ පවසති. 
පසුගිය මාර්තු හා අප්‍රේල් මාසවල පැවැති අධික වර්ෂාවත්, දැඩි සුළං තත්වයත් හේතුවෙන් පෙයාස් මල් හා කුඩා ගෙඩි වැටීම හේතුවෙන් හා පෙයාස් ගස්වල අතු මැරීමෙන් මෙවර පෙයාස් අස්වැන්න අඩු වී ඇතැයි පෙයාස් වගාකරුවෝ කියති. 
ඊට අමතරව පෙයාස් ගස් රැසක් පසුගිය කාලයේ හදිසියේ වියළී ගොස් විනාශයට පත්ව ඇති බවත්, ඊට වෛරස් ප්‍රභේදයක් බලපාන්නට ඇතිදැයි සැකයක් පවතින බවත් ඔවුහු පෙන්වා දෙති.
මෙරට පෙයාස් වගාව මෑත කාලයේ සිදු වූවක් ලෙස බොහෝ පිරිස් සිතුවද ඊට ඇත්තේ වසර සියයකට වඩා ගිය අතීතයකි. නුවරඑළිය ප්‍රදේශයට පෙයාස් වගාව හඳුන්වාදීමට පුරෝගාමීව කටයුතු කර ඇත්තේ සුදු අධිරාජ්‍යවාදි යුගයේ මෙරට ප්‍රකට වැවිලිකරුවකු වූ සැමුවෙල් බේකර්ස් මහතා විසිනි. ඉංග්‍රීසින් විසින් පළමුව වගා කරන ලද්දේ ඇපල් වූවත් ඇපල් වගාව දිලීර රෝගයක් හේතුවෙන් විනාශ වීමත් සමග ඔවුන් මෙසේ පෙයාස් වගා කිරීමට පෙළැඹී තිබිණි. මෙරට පළමුව නුවරඑළියේ කුඩුඔය, හග්ගල, ටොප්පාස්, රාගල, කඳපොල, ආදී ප්‍රදේශ ආශ්‍රිතව පෙයාස් වගා කොට ඇති අතර, ඒවා 1978 වර්ෂයේදී හමා ගිය සුළි සුළඟින් පසු පැතිරී ගිය දිලීර රෝගයක් හේතුවෙන් සම්පූර්ණයෙන් විනාශ විය. 
මතුරට, කැටයාපතන ජනපදයේ පදිංචි කේ. එම්. පී. අබේරත්න වසර ගණනාවක සිට පෙයාස් වගාවේ නිරතව සිටින අයෙකි. පෙයාස් වගාව සම්බන්ධයෙන් ඔහු මෙසේ කීය. 
“මම පෙයාස් වගාව කරගෙන යන්නේ මගේ උත්සාහයෙන්. ගිය වසරට වඩා මේ වසරේ පෙයාස් අස්වැන්න සියයට පනහකින් පමණ අඩු වෙලයි තියෙන්නේ. පෙයාස් ගස්වල මල් හට ගන්න කාලයේ පැවැති අධික වර්ෂාව හා සුළං ඊට බලපා තිබෙනවා. දැන් නුවරඑළියේ පෙයාස්වලට ඉහළ ඉල්ලු‍මක් තිබෙනවා. එහෙත් ඉල්ලු‍මට සරිලන අයුරින් දී ගන්න අස්වැන්න නැහැ. වැස්සත් සමග මොකක් හෝ දිලීර වසංගතයක් ඇති වුණාද කියලා සැකයක් හිතෙනවා. ගිය පාර වගේ මේ පාර ගෙඩි ලොකු වෙන්නේ නැහැ. පැහෙන්න කලින් ගෙඩි බිමට වැටෙනවා. අතු හා ගස් දිරලා මැරිලා යන්න පටන් අරන් තිබෙනවා. 
“ඒ වගේම තිබෙන අස්වැන්න විකුණා ගැනීමට සුදුසු වෙළෙඳපොළක් නැහැ. මෙවර අස්වැන්න අඩු වුණත් වගාකරුවන්ට තිබෙන අස්වැන්නට නිසි මිලක් ලැබෙන්නේ නැහැ. පිටරටින් ගෙනත් තියෙන පෙයාස්වලට විතරයි මේ රටේ තැනක් දීලා තියෙන්නේ. අඩුම තරමේ මෙරට පෙයාස් වගාවේ අස්වැන්න ලැබෙන ජුලි, අගෝස්තු හා සැප්තැම්බර් මාස කීපයේ හෝ පිටරටින් ගෙනෙන පෙයාස් නතර කරන්න රජය කටයුතු කළ යුතුයි.”
පෙයාස් වගාව සම්බන්ධයෙන් අදහස් දැක් වූ ගෝනපිටියේ පදිංචි ඒ. එච්. ජයවීර මෙසේ පැවසීය.
“පෙයාස් ගස්වල මල් පිපෙන කාලයට පැවැති වැස්ස හා සුළඟ හේතුවෙන් මෙවර පෙයාස් අස්වැන්න ගොඩක් අඩු වෙලා. ගිය පාර පෙයාස් ගහකින් ගෙඩි කිලෝ 250ක් පමණ කැඩුවා. මෙවර ගහකින් කිලෝ 50ක් කඩන්න බැරි වෙලා තියෙන්නේ. පෙයාස් ගස් ශීඝ්‍රයෙන් විනාශ වෙමින් යනවා. ශ්‍රී ලංකා ඇපල් කියලා ප්‍රචලිත අපේ පෙයාස් රැක ගන්න බලධාරීන් උත්සාහ නොදැක්වීම කනගාටුවට කරුණක්. ඒ සඳහා කඩිනම් වැඩ පිළිවෙළක් සකස් කළ යුතුයි. ගස්වලට ලෙඩක් බෝවෙලා තිබෙනවා. ගස්වල අතු එක්වරම මැරිලා විනාශ වෙමින් තිබෙනවා. කෘෂිකර්ම නිලධාරීන් කියන්නේ ගහේ මැරෙන අතු කපා දාන්න කියලයි. ඊට පස්සේ එතැනින් දලු‍ එනවා කියනවා. ඒක නෙවෙයි මේ සඳහා ස්ථිර විසඳුමක් සකස් කර දෙන ලෙසයි අපි ඉල්ලන්නේ. මෙහෙම ගියොත් ඉදිරි වසර පහ හය වනවිට ලංකාවෙන් පෙයාස් නැති වෙලා යනවා. මේ අවුරුද්දේ ඒක ආරම්භ වුණා කියලා තමයි අපිට හිතෙන්නේ.” 
“කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වගකිවයුතු නිලධාරීන් පැමිණ මෙම වගාව දියුණු කරන්න කටයුතු කළ යුතුයි. වගකිවයුතු නිලධාරීන් පෙයාස් වගාව නිසි ලෙස නඩත්තු කොට වැඩි අස්වැන්නක් ලබා ගන්නා ආකාරය ගොවීන්ට කියලා දුන්න නම් හොඳ ආදායමක් ගන්න පුළුවන්. මම පෙයාස් වගාවන් සිදු කරන්නේ අත්දැකීමෙන් පමණයි. අපේ රටේ අනෙකුත් ගොවිතැන්වලට ලබා දෙන කිසිඳු සහනයක් හෝ උපදේශයක් පෙයාස් වගාවට ලැබෙන්නේ නැහැ.
රජය මැදිහත්ව පෙයාස් වගා කළ හැකි ප්‍රදේශවල පවතින මුඩු ඉඩම් වගාකරුවන්ට ලබාදී පෙයාස් වගාව වැඩි දියුණු කිරීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතුව ඇති බවත්, පෙයාස් වගාව බහුලව වගා කරන ප්‍රදේශවල අවශ්‍ය තරම් නඩත්තු නොකරන ඉඩම් පවතින බවත්, ඒවායේ පෙයාස් වගාවන් ඇති කිරීමේ හැකියාව පවතින බව ගොවි සංවිධාන නියෝජිතයෝ කියති. 
මෙහි අස්වැන්න වසරකට වතාවක් පමණක් ලැබෙන බැවින් ඊට වගාකරුවන් නැඹුරු වීමට වැඩි උනන්දුවක් නොදක්වන බව පෙනෙන්නට ඇති බවත්, එබැවින් පෙයාස් වගාව සම්බන්ධයෙන් වගාකරුවන් උනන්දු කරලීමේ වැඩසටහන් කෘෂිකර්ම නිලධාරීන් විසින් සිදු කර අනෙකුත් වගාවට ලබා දෙන සහන පෙයාස් වගාවට ද ලබාදීමේ ක්‍රමවේදයක් රජය විසින් සැකසිය යුතුව ඇතැයි එම නියෝජිතයෝ පෙන්වා දෙති. 
පෙයාස් යනු ඉතාමත් රසවත්, මිහිරි මෙන්ම ගුණයෙන් සපිරි පලතුරක් බවත්, පෙයාස්හි රුධිර පීඩනය ස්ථාවර කර ගැනීමට මෙන්ම අධි රුධිර පීඩනයෙන් මිදීමටත් සමන්විත ඖෂධීය ගුණයෙන් පිරිපුන් බවත්, එමෙන්ම ශරීරයේ ප්‍රතිශක්තිය ඉහළ නැංවීමට මෙන්ම, පිළිකා, කොලෙස්ටරෝල්, මලබද්ධය, උණ ආසාදනයෙන්, ඔස්ටියෝ පොරොසිස් වැනි රෝග තත්ව සඳහාද ගුණදායක බව ආයුර්වේද වෛද්‍යවරු සඳහන් කරති. 
පෙයාස් භාවිත කරමින් රසවත් ආහාර වර්ග හා බීම වර්ග රැසක් සකසා ගත හැකි බවත්, පෙයාස් සැලැඩ්, පෙයාස් ස්මුති, පෙයාස් ජුස්, පෙයාස් ක්‍රිස්පි, පෙයාස් කැරමලයිස්ඩ්, පෙයාස් ජෑම්, පෙයාස් කේක් ඇතුළු විවිධ අයුරින් පෙයාස් භාවිත කරමින් රසවත් ආහාර හා බීම වර්ග සකස් කළ හැකි බව නුවරඑළියේ සංචාරක හෝටල් කර්මාන්තයේ සේවය කරනු ලබන සූපවේදීහු පෙන්වා දෙති.
එබැවින් නුවරඑළිය රාගල ආශ්‍රිත බොහෝ ප්‍රදේශවල ඉතාමත් සාර්ථකව වැවෙන පෙයාස් වගාව වැඩි දියුණු කොට ඉන් මෙරට ජනතාවට ප්‍රතිලාභ ලබා ගැනීමේ නිසි ක්‍රමවේද කඩිනමින් සැකසීමට කෘෂිකර්ම අමාත්‍යංශයේ අවධානය යොමු විය යුතුව ඇතැයි පෙයාස් වගාකරුවෝ පවසති.