මුරුංගාවලින් ඉඳි ආප්ප පිටි නිෂ්පාදනගාරයක් අනුරාධපුරේදී විවෘත කෙරේ



අනුරාධපුර-දයාරත්න ඇඹෝගම


උතුරු මැද පළාතෙන් පළමු වරට මුරුංගා කොළ වියළා පිටිකර හාල්පිටිවලට මිශ්‍රකර අගය එකතුකළ ඉඳිආප්ප පිටි නිෂ්පාදනාගාරයක් අනුරාධපුර මඩාටුගම ප්‍රදේශයේ දී පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරිණි.

මෙම අගය එකතුකළ ඉඳිආප්ප පිටි නිෂ්පාදනයට අමතරව මෙහි මුරුංගා තේ පැකට්, මුරුංගා කැප්සුලය, මුරුංගා පවුඩර් සහ විනාඩි දෙකෙන් තම්බා ආහාරයට ගත හැකි ආකාරයට සකසා ඇති මුරුංගා පිටි ඉඳිආප්පද නිෂ්පාදනය කරයි. 

මෙම සියලු‍ නිෂ්පාදන අපනයනය ඉලක්ක කර නිෂ්පාදනය කරන බව ”‍මිහිරි නිෂ්පාදන”‍ ආයතනයේ හිමිකරුවන එච්.බී.එම්.අනුර වීරකෝන් මහතා පැවසීය. මෙහි සංකල්පය, මගපෙන්වීම හා අවශ්‍ය යන්ත්‍ර සුත්‍ර යනාදිය ලබා දීම ජපන් ජ්‍යන්තර සහයෝගිතා ආයතන (JICA) මගින් සිදු කරනු ඇත. 

මෙම නිෂ්පාදන අපනයනය වෙළෙඳපොළ දක්වා රැගෙන යාමද JICA ආයතනය විසින්ම සිදුකරනු ලැබේ. මේ සඳහා උතුරු මැද පළාත් සභාව ද පූර්ණ අනුග්‍රහය ලබාදි තිබේ.

 මෙම විවෘත කිරීමේ අවස්ථාවට ජයිකා ආයතනයේ අධ්‍යක්ෂ සුසුකි අට්සුෂි, රෝහණ නානායක්කාර, පළාත් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපති ඥානසේන ගෝනාපීනුවල, ලංකා බැංකුවේ උතුරු මැද පළාත් මෙහෙයුම් කළමනාකරු ටි.එල්.ඩබ්.මෙන්ඩිස්, සණස සංවර්ධන බැංකුවේ උතුරු මැද පළාත් ප්‍රාදේශිය කළමනාකරු සුරංදිත විමලරත්න ඇතුළු පිරිසක් සහභාගි වූහ. 

මුරුංගා පිටි නිෂ්පාදනය කර්මාන්ත ශාලාව පළාත් ආණ්ඩුකාරවරයා විසින් විවෘත කිරිමෙන් අනතුරුව එහි නීරික්ෂණයට ආණ්ඩුකාරවරයා එක්වු අයුරු සේයාරූවලින් දැක්වේ. ජයිකා ආයතනයේ අධ්‍යක්ෂ සුසුකි අට්සුෂි, ලංකා බැංකුවේ උතුරු මැද පළාත් මෙහෙයුම් කළමනාකරු ටි.එල්.ඩබ්.මෙන්ඩිස්, සණස සංවර්ධන බැංකුවේ උතුරු මැද පළාත් ප්‍රාදේශිය කළමනාකරු සුරංදිත විමලරත්න යන මහත්වරුද මෙහි වෙති.